යුක්රේනය සමග රුසියාවේ ගැටුම මධ්‍යයේ සෙනසුරාදා පැවති රැලියකදී එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වත්මන් ජෝ බයිඩන් පරිපාලනයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ, රුසියාව කිසිවිටෙකත් තම නිරීක්ෂණය යටතේ යුද ගැටුමකට නොපැමිණෙන බවයි.
"අපේ රටේ (ඇමෙරිකාවේ) ව්‍යාජ ප්‍රවෘත්තිවලින් කියැවුණේ මගේ පෞරුෂය අපව යුද්ධයකට ඇද දමනු ඇති බවයි. නමුත් ඇත්ත වශයෙන්ම, මගේ පෞරුෂය අපව යුද්ධයෙන් ඈත් කළා මිසක් යුද්ධයකට ඇද දැමුවේ නෑ" ට්‍රම්ප් කියා සිටියේ දකුණු කැරොලිනාවේ ෆ්ලෝරන්ස් හි පැවති රැලියකදීය. "වසර හතරකට ආසන්න කාලයක් මා ධුරයේ රැඳී සිටියා. බලන්න, මේ කාලය තුළ ඇමෙරිකාව කිසිදු නව ගැටුමකට ඇද දැමුවේ නෑ."
"කෙසේ වෙතත් වත්මන් නායක ජෝ බයිඩන් යටතේ, එක්සත් ජනපදය බියගුලු හෝ තවදුරටත් ගෞරවාදරයට පාත්‍රා නොවන රාජ්‍යයක් බවට පත්වෙලා. අපේ රටට අද වනවිට ලෝකයා සලකනු ලබන ආකාරය වෙනත් කිසිදු දිනෙක නොතිබූ තත්ත්වයක්." ට්‍රම්ප් කීවේය.
"වෙනත් රටවල් දැන් අපට උපදෙස් දෙමින් කළ යුතු දේ අපට කියනවා. ලෝකය පුරා අවුල්සහගත ව්‍යාකූලත්වය සහ ලේ වැගිරීම් අපි දකින්නේ ඒ නිසයි" ට්‍රම්ප් පැවසීය.
"ප්රජාතන්ත්රවාදයේ නාමයෙන්... සිරියාව, ලිබියාව, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය විනාශ කළ යුද ලෝලීන්ට මා චෝදනා කරනවා. එක්සත් ජනපදයට මේ කුරිරු ආක්‍රමණයන් නැවැත්වීමට උදව් කළ යුතුව තිබුණා. දැන් තුන්වැනි ලෝක යුද්ධය සිදුවීම වැළැක්වීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම අපේ අසාර්ථක විදේශ ප්‍රතිපත්ති කුණු කූඩයට වීසිකර දැමීමටද කාලය පැමිණ තිබෙනවා." හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
"බයිඩන්ගේ දුර්වලකම්, බියගුලුකම සහ නොහැකියාව තිබියදීත්, ඇමෙරිකානුවන් ලෙස බිහිසුණු හා ලේවැකි යුද්ධයකට හසු නොවී යුක්රේනයේ මෙම ඛේදවාචකය අවසන් කිරීමට ඔහුට තවමත් කාලය තිබෙනවා" ට්‍රම්ප් පැවසීය. "මෙය තුන්වැනි ලෝක සංග්‍රාමයට හේතු විය හැකියි. මොකද, පූටින් නවතිනු ඇතැයි ඔබ සිතන්නේ නම්, එය වඩාත් නරක අතට හැරෙනු ඒකාන්තයි."
එක්සත් ජනපද රජයට බයිඩන් යටතේ පූටින් සමග සෘජුව කතා කිරීමට කිසිවෙකු නොමැති වීම මෙම ගැටලුවේ සංකීර්ණ අවස්ථාවක් බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
"එක්සත් ජනපදය රුසියාවට සම්බාධක පැනවූවද, පූටින්ට මා සමගත්, මට පූටින් සමගත් කතා කිරීමට කෙනෙක් හිටියා. මා තරම් කිසිදා කිසිවෙකු දැඩි වූයේ නැතත්, අපගේ පරිපාලනය යටතේ මොස්කව් කිසිවිටෙකත් අපට පහර දෙන්න පැමිණියේ නෑ." ට්‍රම්ප් විස්තර කළේය.