භූතෝ ඝාතනයේ ප්‍රධාන සැකකාර ඉක්‍රමුල්ලාහ් තම නිදොස් බව කියයි


පාකිස්තානයේ හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝ ඝාතන සැලසුමේ ප්‍රධාන සැකකරුවෙකු වන තාලේබාන් ත්‍රස්තයෙකු වූ ඉක්‍රමුල්ලාහ් වීඩියෝ ප්‍රකාශයක් හරහා සිය නිර්දෝෂීභාවය පවසා තිබේ.

අගැමතිනිය ඝාතනය කිරීමට පැමිණි තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුට එම ප්‍රහාරය එල්ල කිරීමට නොහැකි වූයේ නම්, එම ඝාතන සැලසුමේ දෙවැනි බෝම්බකරු ලෙස ඔහු ක්‍රියාකර ඇති බව සඳහන් විය.

නමුත්, පළමු වැනි බෝම්බකරු සිය මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කරමින් අගමැතිනිය මරා දැමීමත් සමග, ඉක්‍රමුල්ලාහ් එම ස්ථානයෙන් පළාගොස් ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබුණි.

2007 වසරේදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් භූතෝ ඇතුළු එම රැළියට සහභාගී වී සිටි තවත් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

කෙසේ වෙතත්, ඉක්‍රමුල්ලාහ්ගේ මෙම වීඩියෝ ප්‍රකාශය නිශ්ප්‍රභ කරන භූතෝගේ සමීපතමයෙකු පවසන්නේ ඔහු මුසාවක් පවසන බවයි.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වසර ගණනාවකට පසුව සිය ප්‍රථම වීඩියෝ ප්‍රකාශය ලෙස කලඑළි බැස ඇති ඉක්‍රමුල්ලාහ් පාකිස්තාන තලේබාන් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස ක්‍රියාකරන අතර, ඔහු නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින බව විශ්වාස කෙරෙයි.



Recommended Articles