භයවෙන්න එපා අපි ශක්තිවන්තයි තායි දරුවන්ගෙන් මවුපියන්ට ලිපි


තායිලන්තයේ විශාල ගුහාවක් තුළ සති දෙකකට වැඩි කාලයක් සිරවී සිටින පාපන්දු ක්‍රණ්ඩායමක දරුවන් පිරිස ලිපි යොමු කරමින් ඔවුන් සියලු දෙනා ශක්තිවන්ත බවත්, බිය නොවී සිටින ලෙසත් දෙමවුපියන්ගෙන් ඉල්ලා තිබේ.

මෙම දරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන කිමිදුම්කරුවන්ගේ මාර්ගයෙන් අතින් ලියූ මෙම ලිපි ඔවුන් දෙමවුපියන් වෙත ලැබීමට සලස්වා ඇති අතර, ඇතැම් ලිපිවල ඔවුන් කෑමට ආසා කරන ආහාර ද්‍රව්‍ය ගැනද සඳහන් කර ඇත.

"මට බැදපු කුකුල් මස් කන්න ආසයි..."

"ටීචර්.. මට ගොඩක් ගෙදර වැඩ නම් දීල තියන්න එපා..."

"අම්මේ දුක්වෙන්න එපා..." ආදී වශයෙන් වූ සටහන් දරුවන්ගේ ලිපිවල වූ බව සඳහන් වෙයි.

මේ අතර, දරුවන්ගේ පාපන්දු පුහුණුකරු වන 25 හැවිරිදි එක්කාපෝල් චන්ටාවොන්ග් ලිපියකින් සියලු දරුවන්ගේ දෙමවුපියන් අමතා ඇත.

"ආදරණීය දරුවන්ගේ දෙමවුපියනි... දැන් අපි සියලු දෙනා හොඳින් ඉන්නවා... මුදාගැනීමේ කණ්ඩායම් අපට හොඳින් සලකනවා...

මට පුළුවන් උපරිම ආකාරයෙන් දරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට මා පොරොන්දු වෙනවා. අපේ උදව්වට පැමිණි ඔබ සියලු දෙනාට ස්තූතියි...

ඒ වගේම, දරුවන්ගේ දෙමවුපියන් වෙත මගේ බලවත් කනගාටුවද ප්‍රකාශ කර සිටිනවා..."

මෙම දරු පිරිස වෙත ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් ලැබුණු ලිපිවලට පිළිතුරු ලිපි ලෙස ඔවුන් මේවා ලියා යවා ඇත.

පසුගිය ජූනි මස 23දා මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය නැරඹීමට ගිය අවස්ථාවේ හදිසියේ ඇති වූ වර්ෂාවත් සමග ගුහා සංකීර්ණය ජලයෙන් යටවීම නිසා එහි සිරවිය.

මේ වනවිට ඔවුන් ගුහාවට ඇතුළු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් වූ ගොඩැල්ලක රැඳී සිටින මෙම දරුවන් ඉන් දින 9කට පසුව බ්‍රිතාන්‍ය ජාතික විශේෂ කිමිදුම් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබිණි.

එතැන් පටන් දරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාම කිමිදුම්කරුවන් මාර්ගයෙන් සිදුවුවත්, තායිලන්තයේ හිටපු කිමිදුම් නාවික සෙබලෙකු මෙම මෙහෙයුම් අතරදී ජීවිතයෙන්ද සමුගත්තේය.

මුලදී මෙම දරුවන් මුදාගැනීමේ කටයුතු වර්ෂා කාලය අවසන් වී තවත් මාස කිහිපයකින් සිදුකිරීමට බලධාරීන් සැලසුම් කර තිබුණද, මෝසම් වර්ෂාව වැඩිවන බැවින් ඔවුන් රැඳී සිටින ස්ථාන පවා යළිත් ජලයෙන් යටවනු ඇතැයි යන බිය නිසා දරුවන් හා පුහුණුකරු මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles