බෝයිං සමාගමේ 737 මැක්ස් යානා තවත් කාලයක් ගොඩබස්වා තැබීමට තීරණය වුවහොත් එහි නිෂ්පාදන ක්රියාවලිය නැවැත්වීමට සිදුවිය හැකි බව බෝයිං සමාගම අනතුරු අඟවයි.
මෙම විවාදයට තුඩුදුන් ගුවන් යානය හේතුවෙන් එම සමාගම කාර්තුවකදි ලැබූ ඉහළම පාඩුව ලෙස සැලකෙන ඇ.ඩො.බිලියන 3.4ක් පසුගියදා වාර්තා විය.
ලොව පුරා ගුවන් යානා නියාමකයන් විසින් මෙම යානා සම්බන්ධයෙන් බාධා කිරීම් දිගින් දිගටම සිදුවුවහොත්, 737 මැක්ස් යානා නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට හෝ එය අඩු කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, බොයිං සමාගමේ ප්රධානියා වන ඩෙනිස් මුයිලෙන්ග්බර්ග් විශ්වාසයෙන් යුතුව පවසන්නේ එලැඹෙන ඔක්තෝබර් මාසය වනවිට මෙම යානා නැවතත් සේවයට යෙදවිය හැකිවන බවයි.
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් 737 මැක්ස් යානයක් පුද්ගලයන් 157 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටීමත් සමග පසුගිය මාර්තු මාසයේ සිට එම යානා සියල්ල ගොඩබැස්වීමට නියම කෙරුණු අතර, ඊට මාස පහකට පෙර ලයන් එයාර් හි 737 මැක්ස් යානයක්ද පුද්ගලයන් 189ක් සමග අනතුරට ලක්විය.