බොලීවියා හිටපු ජනපතිගේ නැගණිය කොවිඩ් නිසා මරුට


බොලිවියානු හිටපු ජනාධිපති ඊවෝ මොරාලෙස්ගේ 70 හැවිරිදි සහෝදරිය වන එස්තර් මොරාලෙස් කොවිඩ්-19 ආසාදනය වීමෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බව රටින් පැනගොස් සිටින හිටපු නායකයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඒපී පුවත් ඒජන්සිය වාර්තා කරයි.

"ඇය මගේ අම්මා වගේ" යැයි කියා මොරාලෙස් සමාජ මාධ්‍යවල සඳහන් කර තිබේ. අක්‍රමිකතා හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමෙන් පසු ඊවෝ මොරාලෙස්ට පසුගිය වසරේ ඉල්ලා අස්වීමට සිදුවූ අතර, පසුව ඔහු රටින් පැන ගියේය.

ආර්ජන්ටිනාවේ සිටින මොරාලෙස් නැවත බොලිවියාවට ගියහොත් දේශද්‍රෝහී සහ වෙනත් චෝදනාවලට මුහුණ දිමට සිදුවන අතර, ලාපාස් හි ගිනිකොනදිග පිහිටි ඔරුරෝහි රෝහලක සිටින තම සහෝදරිය බැලීමට යාම බොලීවියා රජය විසින් වැළැක්වූ ජාතිවාදී සහ දේශපාලන හිංසනය ගැන ඔහු දොස් පැවරීය.

බොලීවියාව මේ වනවිට නව කොරෝනා වෛරස වසංගතය සමග පොරබදමින් සිටියදී පසුගිය සති දෙක තුළ මොරාලෙස්ගේ පක්ෂයේ ආධාරකරුවන් මෑතකදී මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් රටපුරා විරෝධතා පැවැත්වූහ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව බොලිවියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (17දා) උදෑසන වනවිට 100,000කට ආසන්න වී තිබූ අතර, එරටින් වාර්තා වන ආසාදිත මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා ඇත.



Recommended Articles