බෙලි කැපීම් ඇතුළ ඝාතන සිදුකළ ISIS ත්‍රස්තයා අධිකරණය හමුවට


ත්‍රස්තවාදය හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා ලැබූ ISIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ සටන් නායකයෙකු බවට සැකකරන අයෙක් පසුගියදා හංගේරියානු අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

27 හැවිරිදි සිරියානුවෙකු වූ මොහු, එෆ්. හස්සන් ලෙස හැඳින ගැනෙයි. පසුගිය වසර අගභාගයේදී ජාත්‍යන්තර බුඩාපෙස්ට් ප්‍රධාන ගුවන් තොටුපොළේදී ඔහු අත්අඩංගුවට පත්ව තිබුණේ, ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව, පසුගිය සප්තැම්බර් මාසයේදී ඔහුට එරෙහිව චෝදනා ගොනු විය.

2011 වසරේ සිරියානු හමුදාවෙන් පළාගොස් ඇති මොහු, 2014 ට ආසන්න කාලයේදී ISIS සංවිධානය සමග සම්බන්ධ වී, එහි සටන් කණ්ඩායමක නායකයෙකු බවට පත්ව, ඒ වෙත නව සාමාජිකයන් බඳවා ගැනීමටද කටයුතු කර තිබේ. 2015 වසරේ හොම්ස් නගරය ආශ්‍රිතව ඝාතන රැසකට ඔහු සම්බන්ධ වී ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.

එම නගරයේ ධනවතුන් රැසක් පදිංචිව සිටි ප්‍රදේශයක් අත්පත් කරගෙන තිබූ ඔහු, ISIS නායකත්වයෙන් ලැබුණු නාමාවලියක් අනුව එම සාමාන්‍ය ජනතාව ඝාතනය තිබේ. බොහෝවිට බෙල්ල කපා හෝ වෙඩි තබා මෙම ඝාතන සිදුකර ඇති අතර, සෙසු පිරිස් නගරයේ ප්‍රධාන වීදියට එක්රැස් කරමින්, ඔවුන් සිදුකරන මනුෂ්‍ය ඝාතන දැකගැනීමට සලස්වා ඇත. එහිදී, ඔහු නගරයේ ඉස්ලාමීය ඉමාම්වරයෙකුගේ හිස කඳින් වෙන්කර එය එහාමෙදා පද්දමින් රැසව සිටි ජනතාවට පෙන්වා ඇති බවද ආරක්ෂක අංශ අධිකරණය හමුවේ පවසා තිබේ. මෙම සිද්ධියේදී කාන්තාවන් 6 දෙනෙකු සහ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු ඝාතනය කිරීමට ඔහු සෘජුවම සම්බන්ධ වී ඇත.

හංගේරියාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ජාත්‍යන්තර බුද්ධි තොරතුරු මත බුඩාපෙස්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව තිබූ ඔහුට එරෙහි නඩු විභාගය කාලයක් පුරා මෙසේ ඇසෙන අතර, විලංගු යෙදූ මෙම ISIS ත්‍රස්ත සැකකරු අධිකරණය හමුවට පමුණුවා තිබුණේ, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ විශේෂ ප්‍රතිත්‍රස්ත බලකායක් විසින් බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

එහිදී, තමා නිවැරදිකරු බවත්, මෙම කාලයේදී තමා සිටියේ තුර්කියේ බවත් ඔහු කියා තිබුණත්, ඔහුගේ ඝාතන දැකිවෙන වීඩියෝ දර්ශනද ආරක්ෂක අංශ විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, මෙම නඩු විභාගය තවදුරටත් කල්තැබී ඇති අතර, ඔහු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles