බීජිංහි ඇමෙරිකානු තානාපති කාර්යාල පිපිරීම ගිණි කෙළිද කුඩා බෝම්බයක්ද?


චීනයේ, බීජිං නගරයේ වූ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ පිපිරීම පුද්ගලයෙක් විසින් තැන්පත් කුළ කුඩා පිපිරුම් උපකරණයකින් සිදුවූවක් බව චීන බලධාරීහු තහවුරු කරති.

මෙම ප්‍රහාරයෙන් පිපිරවීම සිදුකළ පුද්ගලයාට හැර කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද එම වාර්තාවල දැක්වෙයි.

එමෙන්ම, මෙම සිද්ධිය සැලවූ වහාම පොලීසිය එම ස්ථානයට පැමිණි ආරක්ෂාව තරකර ඇති බව කියැවෙයි.

චීනයේ අගනරයේ සිදුවූ මෙම සිද්ධියෙන් පසුව දුම් වලාවක් නැගෙන ආකාරය සහ ජනතාව ඒකරාශී වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජජාල හරහා හුවමාරු විය.

චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පවසන්නේ එම ප්‍රදේශයේ ජනතාවට අකුණක් ගසනවා වැනි හඬක් සමග මෙම පිපිරීම කණ වැකී ඇති බවයි.

කෙසේ වෙතත්, චීනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම කුඩා පිපිරුම් උපකරණය, කුඩා බෝම්බයක් ලෙස හඳුන්වා ඇති අතර, එරට වේලාවෙන් දවහල් 1.00ට පමණ එම සංකීර්ණයේ ගිණිකොන දෙසින් පිපිරී ගිය බව නිවේදනයකින් දක්වා තිබේ.

නමුත්, චීනයෙ බීජිං පොලීසිය මෙම කුඩා පිපිරුම් උපකරණය ගිණිකෙළි යොදාගෙන සැකසූවක් බවට සැකකරන අතර, ඒ තුළින් ගින්නක් ඇති වී තිබෙන බවද සඳහන් කර තිබේ.

මෙම පිපිරීමෙන් ප්‍රහාරය සිදුකිරීමට තැත් කළ පුද්ගයාගේ අතට තුවාල සිදුවී තිබුණත් ඔහුට බරපතළ තත්ත්වයක් නොමැති බවද කියැවෙයි. ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර සිටියි.

පොලීසිය මෙම සැකකරු ජියෑන්ග් යන වාසගමින් පමණක් හඳුන්වාදී ඇති අතර, ඔහු අභ්‍යන්තර මොන්ගෝලියානු පළාතෙන් පැමිණි අයෙකු බව පමණක් සඳහන් කර තිබේ.  



Recommended Articles