යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වූ බ්‍රෙක්සිට් සැලසුම ක්‍රියාත්මක වුවහොත් බ්‍රිතාන්‍යයට බොහෝවිට ඇමෙරිකානු වෙළෙඳ වාසිය අහිමි විය හැකි බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍යයට ගිය ඇමෙරිකානු නායකයා එරට 'ද සන්' පුවත්පත සමග මෙම සංචාරයට පෙර මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වා තිබුනේ බෙල්ජියමේ බ්‍රස්ල්ස් නගරයේදීය.
මෙහිදී, ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ අගමැතිනී තෙරේසා මේ ඉදිරිපත් කළ වෙළෙඳ අවකාශ මරා දමන බ්‍රෙක්සිට් නිසා බ්‍රිතාන්‍ය වෙනුවට ඇමෙරිකාවට යුරෝපා සංගමය සමග වෙළෙඳ ගනුදෙනු තෝරාගැනීමට ඉදිරියේදී සිදුවනු ඇති බවයි.
එමෙන්ම, බ්‍රෙක්සිට් ඡන්ද විමසීමෙන් පසුව අද බ්‍රිතාන්‍යයන් තුළ මේ සම්බන්ධයෙන් පවතින අදහස බොහෝසෙයින් වෙනස්ව ඇති බවද මෙම පුවත්පත් සාකච්ඡාවේදී ට්‍රම්ප් පවසා ඇත.
තමන් මේ සම්බන්ධයෙන් ඇය සමග කතා කළත් තමාගේ යෝජනා කෙරෙහි අගමැතිනී මේ එකඟ නොවූ බවද ට්‍රම්ප් විසින් ද සන් පුවත්පතට පවසා ඇත.
කෙසේ වෙතත්, මෙම පුවත් වාර්තාව 'ද සන්' හි පළවන අවස්ථාවේදී ජනපති ට්‍රම්ප් සහ අගමැති තේරේසා මේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් සිට ඇත.
මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය මෙතෙක් ප්‍රකාශයක් කර නොතිබුණත්, ධවල මන්දිර ප්‍රකාශිකාව පවසා තිබුණේ ජනපති ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනිය සම්බන්ධයෙන් වරදක් කිසිම තැනක ප්‍රකාශ කර නොමැති බවයි.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයට පැමිණි ඇමෙරිකානු නායකයා සමග පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී ඇමෙරිකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය යෝජනා කර ඇත්තේ, යුරෝපා සංගමයෙන් වෙන්වූ බ්‍රිතාන්‍ය සමග සබඳතා වර්ධනය කරගැනීමෙන් දෙරටටම වාසි අත්වන බව පවසමිනි.