බ්‍රැන්සන් වර්ජින් ගැලක්ටික් අභ්‍යවකාශ තරණය ජයගනී


බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන රිචඩ් බ්‍රැන්සන් නිව් මෙක්සිකෝ කාන්තාරයට ඉහළින් සැතපුම් 50කට වඩා වැඩි දුරක් සිය වර්ජින් ගැලැක්ටික් රොකට් ගුවන් යානයෙන් ඉහළට පියාසර කරමින්, වසර 17කට පෙර ඔහු ආරම්භ කළ ව්‍යාපාරයක් සඳහා සංකේතාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් යළි පෘථිවිය කරා පැමිණියේය.

සංචාරයට එක්වූ වර්ජින් ගැලැක්ටික් හෝල්ඩින් ඉන්කෝපරේෂන් හි සේවකයන් හය දෙනාගෙන් එක් අයෙකු වන බ්‍රැන්සන්, අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ නව යුගයක පූර්වගාමියා ලෙස මෙම මෙහෙයුම ආරම්භ කළ අතර 2004 දී ඔහු විසින් ආරම්භ කරන ලද සමාගම ලබන වසරේදී වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටියි. මෙම සංචාරයට ඉන්දීය සම්භවයක් සහිත තරුණියකද එක්විය.

70 හැවිරිදි බ්‍රැන්සන් ගුවන් යානයෙන් බැස, සිය මුනුබුරු මිනිබිරියන් වැලඳ ගැනීමෙන් ටික වේලාවකට පසු පැවසුවේ, "සැමට ඉඩ පහසුකම් සලසමින්, නව අභ්‍යවකාශ යුගයක උදාව වෙත සාදරයෙන් පිළිගන්නවා." යනුවෙනි.

මෙම ගුවන් ගමනේ සාර්ථකත්වය නිසා අභ්‍යවකාශයට පියාසර කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඇමේසන් නිර්මාතෘ, ප්‍රකෝටිපතියෙකු වන ජෙෆ් බෙසෝස් සමග අභ්‍යවකාශ සමාගම් තරගයේ ප්‍රථම ජයග්‍රහණය සනිටුහන් කිරීමට බ්‍රැන්සන්ට හැකි විය.

කෙසේවෙතත්, "ගුවන් ගමනට සුබ පැතුම්" බෙසොස් සිය ඉන්ස්ට්‍රගෑම් හි පැවසීය. "මේ සමාජයට බැඳීමට නොඉවසිල්ලෙන් සිටිනවා!" ඔහු වැඩිදුරටත් පැවසීය.

බ්‍රැන්සන් පිළිගැනීමේ උත්සවයට එක් වූයේ තවත් කෝටිපති අභ්‍යවකාශ කර්මාන්තයේ පුරෝගාමියෙකු වන ටෙස්ලා ඉන්කෝපරේෂන් හි විදුලි මෝටර් රථ නිර්මාතෘ එලොන් මස්ක්ද පැමිණ සිටියේය.

අහසෙහි අඩි 46,000ක් පමණ උසට ළඟා වූ VSS යුනිටි මගී රොකට් යානය මාතෘ යානයෙන් මුදා හරින ලද අතර කාර්ය මණ්ඩලය එහි රොකට්ටුව දැල්වීමත් සමග එය සැතපුම් 53ක් පමණ ඉහළ අභ්‍යවකාශය වෙත සුපර්සොනික් වේගයෙන් ගමන් කළේය.

බ්‍රැන්සන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය අභ්‍යවකාශයේදී මිනිත්තු කිහිපයක් අඩු ගුරුත්වය අත්විඳි අතර, පැයක පමණ සමස්ත ගමනින් පසුව යානය යළි පෘථිවි වායුගෝලය වෙත ඇතුළු විය.

"මම වරක් තරු දෙස බලා සිහින දැක්ක දරුවෙක්. දැන් මම අපේ සුන්දර පෘථිවිය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ වැඩිහිටියෙක්" යැයි බ්‍රැන්සන් අභ්‍යවකාශයේදී වීඩියෝවකින් පැවසීය.

වර්ජින් ගැලැක්ටික් සමාගම පවසා ඇත්තේ 2022 දී නිත්‍ය වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඉදිරි මාස කිහිපය තුළ අභ්‍යවකාශ යානයේ තවත් පරීක්ෂණ ගුවන් ගමන් දෙකක්වත් සැලසුම් කිරීමට සූදානම් කර ඇති බවයි.

ධනවතුන් 600ක් පමණ දැනටමත් මෙම සුපර්සොනික් පියාසැරිය වෙන්කරවා ගෙන ඇති අතර, මෙම ගමන සඳහා ටිකට් පතකට ඩොලර් 250,000ක් පමණ වැයවනු ඇති බව කියැවෙයි. බ්‍රැන්සන් පවසා ඇත්තේ අවසාන වශයෙන් සමාගම ආසන එකක මිල ඩොලර් 40,000ක් දක්වා අඩු කිරීම අරමුණු කර ගෙන ඇති බවයි. ඒ අනුව වාර්ෂිකව ගුවන් ගමන් 400ක් පමණ සඳහා ප්‍රමාණවත් තරම් විශාල ගුවන් යානා සමූහයක් ඉදිකිරීමට ඔවුන් අදහස් කරගෙන සිටියි.



Recommended Articles