බ්‍රසීලයේ ස්වභාවික විපතේ මරණ 136ක් දක්වා ඉහළට


බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ප්‍රාන්තයේ පෙට්‍රොපොලිස් නගරයට බලපෑ අධික වර්ෂාපතනය සමග ඇතිවූ ගංවතුර හා නායයෑම් නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව 136ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයින් 213දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බව බලධාරීන් පවසයි.

සිකුරාදා උදෑසන වනවිට පුද්ගලයින් 24 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් 967දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

මේ අතර, බ්‍රසීලයට බලපෑ මෙම ස්වභාවික විපත හා ජීවිත හානි සම්බන්ධයෙන් චීන ජනධිපති ෂී ජින්පිං, බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ වෙත සිය ශෝකය පළ කරමින් පණිවුඩයක් යවා තිබේ.

එහිදී, විපතට පත් වූවන් පිළිබඳව දැඩි ශෝකය ප්‍රකාශ කරන අතරම, එම ප්‍රදේශවල විපතට පත් වූවන්ගේ පවුල්වලට සහ අතුරුදන් වූ පුද්ගලයන්ට අවංක සංවේගය පළ කළ චීන නායකයා, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයද එම පණිවුඩයෙන් ප්‍රාර්ථනා කර තිබේ.

බ්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරයේ දින ගණනාවක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් මෑත ඉතිහාසය තුළ එරටට බලපෑ දරුණුතම ස්වභාවික විපතක් ලෙස සැලකෙන අතර, මෙය පෙට්‍රොපොලිස් හි 1932 සිට වාර්තා වූ අධිකම වර්ෂාපතනය ලෙසද සටහන්ව ඇත.



Recommended Articles