බ්‍රසීල ජනපති දෙවැනි වරටත් වෛරසයට ධනාත්මක වෙයි


බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ දෙවැනි වරටත් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව අනාවරණය වෙයි.

ජනාධිපතිවරයා පසුගිය සතියේදී වෛරසය සඳහා ධනාත්මක වූ අතර, එහිදී ඔහු මෙම පුවත මාධ්‍ය වෙත හෙළි කළේය.

කෙසේ වෙතත් ඊයේ (15දා) දිනයේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මුණිවත රැක සිටි අතර, ඔහුගේ දෙවැනි වර ප්‍රතිඵලය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා ආකාරයෙන් ඔවුන් කටයුතු කළේය.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යයේ නිරන්තර ප්‍රශ්න කිරීම හමුවේ අද (16දා) යළිත් දුරස්ථව බ්‍රසීල මාධ්‍ය අමතමින් තමන් දෙවැනි වරටත් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වූ බවත්, තවමත් රෝගය සුවවී නොමැති බවත් අනාවරණය කළේය.

වෛරසය වැළඳුණු දා සිට ජනාධිපතිවරයා පවසා සිටියේ ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් මේ සතියේ සෘණාත්මක ලෙස පරීක්‍ෂා කළහොත් සිය සාමාන්‍ය වැඩ කාලසටහන නැවත ආරම්භ කරන බවත්ය.

තමන් යළිත් වරක් දින කිහිපයකින් පරීක්ෂාවක් කරන බවද ඔහු මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (16දා) අලුයම වනවිට බ්‍රසීලය තුළ සමස්ත කොරෝනා ආසාදිතයන් 1,966,748ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව මියගිය සංඛ්‍යාව 75,366කි.



Recommended Articles