බටහිර ව්‍යාජ අධිරාජ්‍යයට එරෙහිව පූටින් හඬ නගයි


රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් විසින් බටහිර රටවල් "ව්‍යාජ අධිරාජ්‍යයක්" ලෙස හැඳින්වූයේ අසල්වැසි යුක්රේනයේ විශේෂ හමුදාමය මෙහෙයුම හේතුවෙන් එරටට එල්ල වූ නව සම්බාධක රැල්ලට ප්‍රතිචාර දක්වමිනි.

සඳුදා රජයේ ඉහළ නිලධාරීන් අමතමින් පූටින් පැවසුවේ, "ආර්ථික හා මූල්‍ය ප්‍රශ්න සාකච්ඡා කිරීමට මා ඔබට ආරාධනා කළා. ඊනියා බටහිර ප්‍රජාව, එනම් මා මගේ කතාවේදී හැඳින්වූ පරිදිම මේ ව්‍යාජ අධිරාජ්‍යය විසින් අපේ රටට එරෙහිව ගෙනඒමට උත්සාහ කරන සම්බාධක මනසේ තබාගෙන මේ සාකච්ඡාව සිදුකරමු." යනුවෙනි.

"ව්‍යාජ අධිරාජ්‍යය" යන යෙදුම රුසියානු ජනාධිපතිවරයා විසින් පසුගියදා යුක්රේනයේ ප්‍රහාරය දියත් කරන බවට නිවේදනය කළ කතාවේදීම පවසා සිටියේය. එක්සත් ජනපදය මෙවැනි "පද්ධති සාදන බලවතෙකු" බැවින්, සමස්ත සාමූහික බටහිරම එවැනි "අධිරාජ්‍යයක්" බවට පත්ව ඇති බව පූටින් අවධාරණය කළේය.

"අද වනවිට ඇමෙරිකානු දේශපාලනඥයන්, දේශපාලන විද්‍යාඥයන් සහ මාධ්‍යවේදීන් විසින්ම ලියන්නේ සහ පවසන්නේ, මෑත වසරවලදී එක්සත් ජනපදය තුළ සැබෑම "ව්‍යාජ අධිරාජ්‍යයක්"නිර්මාණය වී ඇති බවයි. එය සත්‍යයක් බැවින් එයට එකඟ නොවී සිටීමට අපට දුෂ්කරයි" පූටින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Recommended Articles