බටහිර ගෝලීය දේශපාලන - ආර්ථික ආධිපත්‍යය අවසන්


යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන යුද වාතාවරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ එහි සගයන් විසින් රුසියාවට පනවන ලද පෙර නොවූවිරූ සම්බාධකවල නවතම වටය යුගයක අවසානය සනිටුහන් කරන බවත්, මෙතැන් සිට බටහිරට දේශපාලන හා ආර්ථික වශයෙන් එහි ගෝලීය ආධිපත්‍යය අහිමි වනු ඇති බවත් රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.

විශේෂ රැස්වීමක් අමතමින් රුසියානු රාජ්‍ය නායකයා ප්‍රකාශ කළේ, ඊනියා රන් බිලියනපතියන් හෙවත් බටහිර සංවර්ධිත රාජ්‍ය නමැති මිත්‍යාව බිඳ වැටෙමින් තිබෙන බවයි. එසේම බටහිර අභිලාෂයන් සන්තර්පනය සඳහා සමස්ත ලෝකයටම එහි වාඩුව ගෙවීමට සිදුවන අතර, ඔවුන් ඕනෑම වියදමක් දරා එහි අතුරුදන් වන ආධිපත්‍යය රඳවා ගැනීමට උත්සාහ කරන බවද පූටින් සඳහන් කළේය.

රුසියාවට එරෙහි බටහිර සම්බාධක සමස්ත ගෝලීය ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් ලොව පුරා ආහාර හිඟයක් ඇති වන බවටද ජනාධිපතිවරයා අනාවැකි පළ කළේය.

රුසියාවේ මහ බැංකුවේ වත්කම් අවුරාලීමට බටහිර බලවතුන් කිහිප දෙනෙකු ගත් තීරණය ගැන කතා කරමින්, පූටින් කියා සිටියේ මෙය එම ජාතීන් කෙරෙහි ඇති විශ්වාසය ආපසු හැරවිය නොහැකි ලෙස පලුදු කිරීමක් පමණක් බවය. ඒ අනුව එම රටවල තම සංචිත තැන්පත් කිරීමට පෙර ලෝකයේ සෙසු රටවල්වලට දෙවරක් සිතීමට ඉඩ සලසන ක්‍රියාවක් බවය. පූටින්ට අනුව මොස්කව්හි වත්කම්වලින් අඩක් පමණ බටහිර විසින් සරලව සොරකම් කර ඇත.

බටහිර රටවල ජනතාව අමතමින් රුසියානු නායකයා පැවසුවේ රුසියාවට පනවන ලද දැවැන්ත සම්බාධක දැනටමත් එක්සත් ජනපදයට සහ යුරෝපයට පාරාවළල්ලක් බවට පත්වෙමින් තිබුණත්, එය රුසියාවේ වැරැද්දක් ලෙස තම පුරවැසියන්ට ඒත්ත ගැන්වීමට එම රටවල් දැඩි උත්සාහයක නිරත වන බවය.

බටහිර රටවල සාමාන්‍ය වැසියන් අමතමින් පූටින් කියා සිටියේ, මොස්කව් ඔවුන් මේ වනවිට මුහුණදෙන ආර්ථික හා දේශපාලන පීඩනයන්ට මූලික මූලාශ්‍රය ලෙස පෙන්වීමට බටහිර දරන උත්සාහය අසත්‍යයක් බවය. එම ප්‍රශ්න බොහොමයක් බටහිර ආණ්ඩුවල අභිලාෂයන් සහ දේශපාලන අදූරදර්ශීභාවයේ සෘජු ප්‍රතිඵලයක් බවත් පූටින් ප්‍රකාශ කළේය.

අවසානයේදී බටහිර ප්‍රභූන් ඔවුන්ගේ රටවල් බොරුවේ අධිපත්‍යයක් බවට පත්කර ඇතත්, මේ සියලු අභියෝග හමුවේ රුසියාව සමස්ත ලෝකයටම තමන්ගේම ස්ථාවරයෙන් ඉදිරියට යන ආකාරය පෙන්වා සිටින බව පූටින් අවධාරණය කළේය.



Recommended Articles