පොකුරු කඩිනමින් පාලනය නොකළහොත් නීති දැඩිවේ


ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 ආසාදිත පොකුරු ඉස්මතුවීම කඩිනමින් පාලනය නොකළහොත් වඩාත් ජනාකීර්ණ ප්‍රාන්ත අතර සංචරණය සඳහා දැඩි සීමාවන් පනවනු ඇති බව මහ ඇමතිවරු පවසති.

කොවිඩ්-19 වසංගතය වඩාත් සාර්ථකව පාලනය කළ ගෝලීය නායකයෙකු ලෙස ඔස්ට්‍රේලියාව මුලින් ප්‍රකාශයට පත්වුවත්, පසුගිය සතිය වනවිට ඔස්ට්‍රේලියාවේ නව ආසාදිත පොකුරු ඉස්මතු වීම ඇරඹී තිබේ.

එහිදී මෙල්බර්න් නගරයද ඇතුළත් වන වික්ටෝරියා ප්‍රාන්තය තුළ ආසාදිත පොකුරු ඉස්මතුවීම පාලනය කිරීමේදී මංමුලාවී සිටින ඔස්ට්‍රේලියානු බලධාරීන් එම ප්‍රාන්තයේ මිලියන 5කට වැඩි ජනගහනයක් සති 6ක කාලයක් සම්පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයට පත් කර ඇත.

මේ තත්ත්වය තුළද පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 238 දෙනෙකු සොයාගෙන ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

සමස්තයක් ලෙස ඔස්ට්‍රේලියාවෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 10,500ක් පමණ වාර්තා වී ඇති අතර, 90 හැවිරිදි කාන්තාවක් වෛරසයෙන් මිය යාමෙන් පසු බදාදා මරණ සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles