පෘතුගාල හා නවසීලන්ත හෙද සොයුරියන්ට ස්තූතියි -බොරිස්


කොවිඩ්-19 ආසාදිතව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව සුවය ලබා රෝහලෙන් පිටව ගිය බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් තමාට උවටැන් කළ නවසීලන්ත හා පෘතුගාල හෙදියන් දෙදෙනෙකුට විශේෂයෙන් ස්තූති කර තිබේ.

සිය ට්විටර් ගිණුම හරහා වීඩියෝවක් පළ කරමින් අගමැතිවරයා කියා සිටියේ රෝහල් කාර්ය මණ්ඩලයේ පෞද්ගලිකවම දැක්වූ ධෛර්යය ඉදිරි පෙළේ තමන් දුටු බවයි.

ජොන්සන් පැවසුවේ නවසීලන්තයේ ජෙනී සහ පෘතුගාලයේ ලුයිස් යන හෙදියන් දෙදෙනා ඉතා තීරණාත්මක වේලාවක පැය 48ක් ඔහුගේ ඇඳ අසල සිටගෙන සිටි බවය. පසුගිය සතියේ ඔහු රැකබලා ගත් තවත් රෝහල් සේවකයන් කිහිප දෙනෙකු වෙතද ස්තූති කිරීමට අගමැතිවරයා අමතක නොකළේය.

"එය දෙපැත්තටම යන්නට ඉඩ තිබුණා. අවසානයේ මගේ ශරීරයට අවශ්‍ය තරම් ඔක්සිජන් ලැබෙන්නට පටන් ගත්තේ රාත්‍රියේ සෑම තත්පරයකදීම ඔවුන් දැක්වූ උනන්දුව නිසයි. සෑම මොහොතකම ඔවුන් සැලකිලිමත් වෙමින් මට අවශ්‍ය මැදිහත්වීම් කළ නිසයි" ජොන්සන් පැවසීය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් තමාගේ ජීවිත අනතුරේ හෙළා ගනිමින් මෙම මාරාන්තික වෛරසයට මුහුණදෙන ආකාරය තමා අත්විඳි බවද අගමැතිවරයා කියා සිටියේය.

"අපගේ සෞඛ්‍ය සේවකයන්ගේ ධෛර්යයට, ඒ භක්තියට, එම යුතුකමට සහ ප්‍රේමයට ස්තූතිවන්ත වෙනවා" ජොන්සන් වැඩිදුරටත් පැවසීය.

බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය පවසා සිටියේ අගමැතිවරයා වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් පරිදි වහාම සේවයට නොඑනු ඇති බවය.

මේ අතර, අගමැති බොරිස් ජොන්සන් තම ජීවිතය බේරාගත් බවට ප්‍රශංසා කළ පෘතුගාල හෙදියට එරට ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා විසින්ද පෞද්ගලිකව ස්තූතිය පුදකර ඇති බව වාර්තා වෙයි.



Recommended Articles