රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ ගෞරවනීය ටයිකොන්ඩෝ කළු පටිය ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
එම සම්මේලනයේ ප්‍රධානී චෞ චුන්ග්-වොන් විසින් පූටින්ට ගෞරවනීය කළු පටිය පිරිනමන ලද අතර, ටයිකොන්ඩෝ ආරම්භ වූ දකුණු කොරියාවේ 2013 නොවැම්බරයේ පූටින් සිදුකළ සංචාරයකදී සටන් කලාවේ මහා විශාරදයෙකු බවට ඔහුව පත්කරන ලදී.
ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යුක්රේනයේ රුසියාවේ හමුදා මෙහෙයුම දැඩි ලෙස හෙළා දකින අතර, එය "ජයග්‍රහණයට වඩා සාමය අනර්ඝයි" යන ලෝක ටයිකොන්ඩෝ දැක්මට සහ ගෞරවය සහ ඉවසීමේ ලෝක ටයිකොන්ඩෝ වටිනාකම්වලට පටහැනි ක්‍රියාවක් ලෙසය.
"මේ සම්බන්ධයෙන්, 2013 නොවැම්බර් මාසයේදී ව්ලැදිමීර් පුටින් වෙත පිරිනැමූ ගෞරවනීය 9 වැනි කළු පටි ඉවත් කිරීමට World Taekwondo තීරණය කර තිබෙනවා" යැයි එම සම්මේලනයේ නිවේදනයේ දැක්වේ.
"ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනුව යමින්, රුසියානු හෝ බෙලාරුසියානු ජාතික ධජ හෝ ගීත ලෝක ටයිකොන්ඩෝ ඉසව්වලදී ප්‍රදර්ශනය කිරීම හෝ වාදනය කිරීම සිදුවන්නේ නැහැ." යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.
පුටින්ගේ ගෞරවනීය කළු පටි ඉවත් කිරීමට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය ගත් තීරණය මෑත දිනවල රුසියානු නායකයාගේ ක්‍රීඩාව හා බැඳි ගෞරවයන් ඉවත් කළ දෙවැනි අවස්ථාවයි.
පසුගියදා ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය (IJF) පූටින් වෙත 2008 සිට එහි ගරු සභාපති සහ තානාපති ලෙස දැරූ තනතුරෙන් ඔහුව අත්හිටුවීමට තීරණය කර තිබුණි.