ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා සමාන වේතන ඉල්ලා ස්විට්සර්ලන්තයේ කාන්තාවන් දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් අද (14දා) පවත්වා තිබේ.
වර්ෂ 1991 දී අවසන් වරට ස්විට්සර්ලන්ත කාන්තාවන් මෙවැනි සමානාත්මතාවක් වෙනුවෙන් දැවැන්ත වැඩවර්ජනයක් සිදුකළ අතර, එවර ලක්ෂ 5ක පමණ කාන්තාවන් පිරිසක් වර්ජනයේ නිරත වූහ.
ඉන් වසර 28කට පසුව යළිත් ස්විට්සර්ලන්ත කාන්තාවන් මෙලෙස වැඩවර්ජනයට එක්ව ඇත්තේ ඔවුන්ට සමාන වැටුප්, සමාන විශ්‍රාම වැටුප් සහ සමාන ගෞරවය හිමිවිය යුතු බව පවසමිනි.
විශේෂයෙන්ම වර්තමානයේදී පුරුෂයන් හා සමාන වැඩ කොටසක් ස්ත්‍රීන් සිදුකළද ඔවුන් වෙනුවෙන් හිමිවිය යුතු සමාන අයිතිවාසිකම් වෙනුවෙන් ඉතා සෙමෙන් ගමනක් සිදුවන බව ස්විට්සර්ලන්ත කාන්තාවෝ පවසති.
පළමු වැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමග යුරෝපයේ කාන්තාවන් පුරුෂයන් හා සමාන අයිතිවාසිකම් ඉල්ලා වීදි බැස සිටි මොහොතේ, එකලද ඒ අයිතීන් වෙනුවෙන් ස්විට්සර්ලන්ත කාන්තාවන් සටන් කර තිබුණි.