පිලිපීන ගුවන් හමුදා යානා අනතුරේ මරණ 47ක් වෙයි


පිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 යානයක් දකුණු දූපතක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස 47දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් හමුදා නිලධාරීන් 49දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හමුදා ප්‍රධානියා පවසයි.

ගුවන් හමුදා ගුවන් යානයේ ගමන් කළ 96 දෙනාම මේ වනවිට හඳුනාගෙන ඇති බව පිලිපීන මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සිරිලිටෝ සොබේජානා පැවසීය.

එරට ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව මීට පෙර පැවසුවේ භූමියේ සිටි සිවිල් වැසියන් තිදෙනෙකුද මියගොස්, තවත් සිවිල් වැසියන් සිව් දෙනෙකු තුවාල ලැබූ බවයි.

ගුවන් යානය මින්ඩනාඕ දූපතේ කැගයාන් ඩි ඔරෝ නගරයේ සිට හමුදාව ප්‍රවාහනය කරමින් සිටියදී දේශීය වේලාවෙන් පෙරවරු 11.30 ට පමණ ජොලෝ දූපතේදී අනතුරට ලක්වූ බව සොබෙජානා පැවසීය.

යානය ජොලෝ ගුවන්තොටුපළට ගොඩබෑමට උත්සාහ කර ඇති නමුත් එය අසාර්ථක වීමෙන් පසුව මෙම අනතුර සිදුව තිබේ. කෙසේ වෙතත් යානය බිම පතිත වී විශාල ගිනි ජාලාවක් ඇතිවීමට පෙර සොල්දාදුවන් පිරිසක් යානයෙන් ඉවතට පැන ඇති බවද සඳහන් වෙයි.

මෙය පිලිපීන ගුවන් හමුදා ඉතිහාසයේ ඛේදවාචකයක් ලෙස සැලකෙයි.



Recommended Articles