ඇමරිකානු සහ කැනේඩියානු මිෂනාරිවරුන් කණ්ඩායමක් පැහැර ගත් හයිටි කල්ලියක් ඔවුන්ව නිදහස් කිරීමට ඇ.ඩො.මිලියන 17ක් හෙවත් එක් අයෙකුට ඩොලර් මිලියනය බැගින් ඉල්ලන බව හයිටි රජය පවසයි.
අධිකරණ ඇමති ලිස්ට් ක්වයිටෙල් රොයිටර් පුවත් සේවයට කියා සිටියේ මාවෝසෝ 400 නමින් හැඳින්වෙන කල්ලියක් විසින් අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් නගරයෙන් පිටතදී පැහැරගෙන ගිය මිෂනාරිවරුන් නිදහස් කර ගැනීම සඳහා ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
කප්පම් මුදල තහවුරු කළ ඇමතිවරයා පැවසුවේ “ඔවුන් එක් අයෙකුගෙන් ඩොලර් මිලියනයක් ඉල්ලූ” බවයි.
ඔහියෝහි පිහිටි ක්‍රිස්තියානි ආධාර අමාත්‍යාංශ මෙම තත්ත්වය විසඳීමට කටයුතු කරන හයිටි හා ඇමෙරිකානු සිවිල් බලධාරීන් වෙනුවෙන් යාඥා කරන ලෙස ඉල්ලා සිටියේය.
ඇමරිකානුවන් 16දෙනෙකු සහ එක් කැනේඩියානු ජාතිකයෙකු අතර මාස 8 ක් වයසැති ළදරුවෙකු ඇතුළුව ළමයින් පස් දෙනෙකු සිටින බව සඳහන් වෙයි. මාවෝසෝ 400 කල්ලිය ආධිපත්‍යය දරන අගනුවරට සැතපුම් 8ක් පමණ ඈතින් වූ ක්‍රොයික්ස් ඩෙස් බුකට්ස් නම් ප්‍රදේශයේදී ඔවුන් පැහැරගෙන ගොස් ඇත.
මෙම පිරිස හයිටි රාජ්‍ය තුළ ආගම ප්රචාරයේ නිරතව සිටි පිරිසක් වන අතර, ඔවුන් බේරාගැනීම සඳහා ඇමෙරිකාව යුහුසුළුව කටයුතු කරන බව සඳහන් වේ.