පැරීසියේ මැදි දින රැළිවල ප්‍රචණ්ඩාකාරී ස්වරූපයක්


සමාජවාදීන්ගේ සහ වෘත්තීය සමිතිවල වාර්ෂික පෙලපාලි දිනයක් වන මැයි දිනය සැමරීම සඳහා විරෝධතාකරුවන් දහස් ගණනක් ඉරිදා පැරිසියේ වීදිවලට පැමිණ සිටි අතර, ඒ සමූහයා අතර වෙස් මුහුණු පැළඳගත් කළු කණ්ඩායම විනාශකාරී ක්‍රියා අනුගමනය කරමින් මැයි දිනය ප්‍රචණ්ඩත්වයට රැගෙන ගොස් තිබේ.

සන්නද්ධ මෝටර් රථ සහ ජල ප්‍රහාරක ආධාර ඇතිව අවම වශයෙන් පොලිස් නිලධාරීන් 5,000ක් ප්‍රංශ අගනුවර වීදිවලට ​​යොදවා තිබුණි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් යලි තේරී පත්වී සතියකට පසුව මෙම වසරේ විරෝධතා පැමිණි අතර, නගරයේ පමණක් පෙලපාලි 250ක් පමණ සැලසුම් කර තිබුණි.

එහිදී වීදිවලට ​​බැස විරෝධතා විශාල ලෙස සිදු කරන ලෙසට වෘත්තීය සමිති ප්‍රධානියා පිලිප් මාටිනස් පුරවැසියන්ගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබීම නිසා මෙසේ දහස් සංඛ්‍යාත ජනතාවක් එක්රොක් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

වාමාංශික නායක ජීන්-ලූක් මෙලෙන්චොන් විසින් මැක්රෝන්ගේ සැලසුම්ගත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වන ලෙස ඔහුගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටි අතර, විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ සැලසුම් හෙළා දකිමින් පෙළපාලි ගිය අය බැනර් අල්ලාගෙන සිටියහ.

සාමකාමී පාගමනක විරෝධතාකරුවන් මධ්‍යයේ, කළු ඇඳුමින් සැරසී වෙස්මුහුණු පැළඳ සිටි කණ්ඩායම් ඉක්මනින්ම පොලිසිය සමග ගැටුම් ඇතිකර ගත්හ. කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලද අතර වීඩියෝ දර්ශනවල නිලධාරීන් සැකකරුවන් බිම හෙළන ආකාරයද දැකිය හැකි විය. කෙසේ වෙතත් ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් වෙළෙඳසැල් රැසකට අලාභානි සිදුව ඇති අතර, මෝටර් රථ ගිනිබත් කිරීම්ද වාර්තා වී තිබේ.



Recommended Articles