පැය 24ක් තුළ ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් - ඔහයිඕ 9ක් මරුට


එක්සත් ජනපදයේ ඔහයිඕ ප්‍රාන්තයේ, ඩෙයිටොන් නගරයේ අවන්හලක් අසල අද (04දා) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙත් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔරෙගොන් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම වෙඩි තැබීම අලුයම් කාලයේදී සිදුව ඇති අතර, ටෙක්සාස් ප්‍රාන්තයේ, වෝල්මාට් සුපිරි වෙළෙඳ සැලක් තුළ සිදුවූ සමූල වෙඩි තැබීමේ සිද්ධියෙන් පැය 24ක් ගෙවී යාමටත් පෙර මෙම සිද්ධිය වාර්තා වීම ඇමෙරිකානුවන් තැතිගැන්වූ අවස්ථාවක් වී තිබේ.

මෙම ප්‍රහාරට හේතුව මෙතෙක් පොලීසිය අනාවරණය කරගෙන නැතත්, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවන බව පොලීසිය පවසයි.

මෙම සිදුවීම් එක්සත් ජනපදය තුළ ගිනි අවි පාලනය සම්බන්ධයෙන් පවතින වාද විවාද යළිත් කරළියට මතුකිරීමට සමත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles