පාකිස්තානයේ මිලියන 220ක ජනතාවට විදුලි බිඳ වැටීමක්


පාකිස්ථානයේ රටපුරා විදුලිය ඇනහිටීමක් හේතුවෙන් සඳුදා මිලියන 220කට ආසන්න ජනතාවකට විදුලිය විසන්ධි වී තිබේ.

දැනටමත් ශීත ඍතුවේ මාසවලදී ඉන්ධන හිඟයක් සමග පොරබදමින් සිටින පාකිස්තානයට මෙම හදිසි විදුලි බිඳ වැටීම දැඩි අර්බුදයක පෙරනිමිති කියාපා තිබේ.

රටේ බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රටේ වේලාවෙන් පෙරවරු 7.34 ට රටේ ජාතික විදුලිබල පද්ධතියේ මෙම පුළුල් බිඳ වැටීම සිදුව ඇති බවය.

"පද්ධති නඩත්තු කටයුතු ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතිනවා" යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉස්ලාමාබාද් අගනුවර සහ පෙෂාවර් නගරයේ “සීමිත ජාල සංඛ්‍යාවක්” විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

ඇණහිටීම කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න පැහැදිලි නැති අතර රටේ විවිධ ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ දරමින් සිටියි.

පකිස්ථානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ ක්වෙටා නගරයේ, රෝහල්, වෙළෙඳසැල් සහ කුටුම්භ ඇතුළු දෛනික ජීවිතයේ සෑම අංශයකටම ඇනහිටීම බලපා ඇත.



Recommended Articles