පාකිස්තානයේ පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය පිළිගත නොහැකි බවත්, නව මැතිවරණයක් අවශ්‍ය බවත් එරට විරුද්ධ දේශපාලන පක්ෂ රැසක් අවධාරණය කරයි.
හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති පුටුව ආසන්නයට කැඳවාගෙන පැමිණි මෙවර මැතිවරණයෙන් ඔහු නියෝජනය කළ පීටීඅයි පක්ෂය ජයග්‍රහණය ලැබීය.
කෙසේ වෙතත්, මෙහි පැහැදිලි මැතිවරණ වංචාවක් පවතින බව පවසන විරුද්ධ පක්ෂ, නව මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් උද්ඝෝෂණය කරන බව පවසයි.
එරට විරුද්ධ පක්ෂ කිහිපයක් ඉස්ලාමාබාද් නගරයේදී ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙය නිවේදනය කළේය.
මෙම විරුද්ධ පක්ෂ සන්ධානයට හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයද දැන් ඇතුළත් වී ඇති අතර, මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන් මීට පෙර කියා සිටියේ තමන් විරුද්ධ පක්ෂයට යෑමට සූදානම් බවකි.
නවාස් ෂරීෆ්ගේ සහෝදරයා වූ එම පක්ෂයේ වත්මන් නායක ෂාහ්බාස් ෂරීෆ් පවසා සිටියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේද නැද්ද යන්න පිළිබඳව තම පක්ෂය මෙතෙක් තීරණය කර නොමැති බවයි.
මේ අතර, මෙම විරුද්ධ පක්ෂ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන එම්එම්ඒ පක්ෂයේ නායක මවුලානා ෆසාලූර් රෙහ්මන් කියා සිටියේ ඔවුන් යළිත් වරක් මැතිවරණයක් ඉල්ලා සිටින ව්‍යාපාරයකට යන බවයි. ඒ වෙනුවෙන් ඔවුන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන බවද කියා සිටියේය.
මෙවර මැතිවරණයේ ආසන 272න් ආසන 115ක් දිනාගැනීමට ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය සමත් වූ අතර, නවාස් ෂරීෆ්ගේ සහෝදරයා තරග කළ පීඑම්එල්-එන් පක්ෂයට දිනාගැනීමට හැකිවූයේ ආසන 64ක් පමණි. එමෙන්ම, හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝගේ පුත් බිලාවාල් භූතෝ නායකත්වය දැරූ පීපීපී පක්ෂය ආසන 43ක් දිනාගනු ලැබීය.
කෙසේ වෙතත්, රජයක් පිහිටුවීම සඳහා ආසන 137ක් අවශ්‍ය බැවින් ඉම්රාන් ඛාන් වෙත අගමැති ධුරය ලබාගැනීම සඳහා ඔහුට සන්ධාන රජයකට යෑමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.