ප්‍රතිශක්තිය දුර්වල ස්පාඤ්ඤ ජාතිකයන්ට බූස්ටර් මාත්‍රාවක්


සාම්ප්‍රදායික මාත්‍රා දෙකක එන්නතක් ලබාදීමෙන් පවා දුර්වල ආරක්ෂාවක් පැවතිය හැකි යැයි විශ්වාස කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන් සඳහා කොවිඩ්-19 මර්දන එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් අනුමත කිරීමට එරට සෞඛ්‍ය නියාමකයා කටයුතු කර තිබේ.

ඇතැම් අවස්ථාවල මෙම බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු වන්නේ පෙර දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් දින 28කට පසුව බවත්, එකම එන්නත් වර්ගයක්ම භාවිත කිරීම වඩාත් සුදුසු බවත් ස්පාඤ්ඤයේ මහජන සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කරයි. කෙසේ වෙතත් මෙම තෙවැනි මාත්‍රාව පුද්ගලයන් කොපමණ සංඛ්‍යාවකට ලබාදෙන්නේද යන්න ඔවුන් සඳහන් කර නොතිබිණි.

එනමුදු සාමාන්‍ය ජනතාව වෙත බූස්ටර් මාත්‍රාවක් ලබාදීම නිර්දේශ කිරීම සඳහා ස්ථිර දත්ත නොමැති බව එම නියාමන කොමිසම නැවත අවධාරණය කළේය.

කෙසේ වෙතත් යුරෝපා ඖෂධ ඒජන්සිය මේ මස මුලදී කියා සිටියේ ලබාදිය හැකි කොවඩ්-19 එන්නත්වල තෙවැනි මාත්‍රාවක් සම්බන්ධයෙන් ඇගයීමක් කරන බවයි. කෙසේ වෙතත් එය දෙවැනි මාත්‍රාවෙන් මාස 6කට පසුව ලබාදීමක් ගැන එම ඒජන්සිය පැවසීය.

මේ සියලු තත්ත්වයන් මැද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ අවම වශයෙන් සැප්තැම්බර් අවසානය වනතෙක් කොවිඩ්-19 එන්නත් බූස්ටර් මාත්‍රා ලබාදීම තහනම් කරන ලෙසයි. විශේෂයෙන්ම එන්නත් ලබාගැනීම දුර්වල රටවල ජනතාවට වැඩි මාත්‍රා ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන ලෙස එම සංවිධානය ධනවත් රටවලින් ඉල්ලා සිටියි.



Recommended Articles