ප්‍රතිශක්තිය අඩු අය සඳහා බූස්ටර් මාත්‍රා අනුමත කරයි


ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන් සඳහා කොවිඩ්-19 මර්දන එන්නතෙහි අතිරේක මාත්‍රාවක් (බූස්ටර් මාත්‍රාවක්) ලබාදීමට එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් අනුමත කර තිබේ.

ඒ අනුව එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් (බූස්ටර් මාත්‍රාවක්) හදිසි භාවිතය සඳහා අවසර ලබා දී ඇත.

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ වැඩබලන කොමසාරිස් ජැනට් වුඩ්කොක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "කොවිඩ් -19 වසංගතයේ තවත් රැල්ලකට රට ඇතුළු වී තිබෙනවා. මේ නිසා ප්‍රතිශක්ති ඌනතාවයෙන් යුතු පුද්ගලයින් දැඩි ලෙස රෝගාතුර වීමේ අවදානමට ලක්ව සිටිනවා." යනුවෙනි.

ඒ අනුව මෙම අතිරේක මාත්‍රාව අවයව බද්ධ කරනු ලැබූවන් හෝ ඒ හා සමාන දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය සඳහා බව වුඩ්කොක් වැඩිදුරටත් පැවසීය.

මේ අතර දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා කොවිඩ්-19 මර්දන එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් නිර්දේශ කිරීම සඳහා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථාන සමඟ උපදේශක මණ්ඩලයද අද (13දා) සි ඡන්දය ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඇස්තමේන්තුගතව මිලියන 7ක ජනතාවක් ප්‍රතිශක්ති ඌනතාවයෙන් පෙළෙන අය සිටින බව ගණන් බලා තිබේ.



Recommended Articles