ප්‍රංශ ජනපති සගයෙක් පොලීසිය සේ පෙනී සිට උද්ඝෝෂකයන්ට ගහලා


කැරලි මර්දන පොලීසිය ලෙස පෙනී සිටිමින් ප්‍රංශ ජනපති මැක්රෝන්ගේ ප්‍රධාන සහායකයෙකු පැරීසියේ පැවති උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන්ට පහරදී ඇති බවට පරීක්ෂණ සිදුවෙයි.

ජනපති එමානුවෙල් මැක්රෝන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සහායකයෙකු ලෙස කටයුතු කරන ඇලෙක්සැන්ඩර් බෙනල්ලා මැයි දින උද්ඝෝෂණයකදී උද්ඝෝෂණයේ නිරත වී සිටි කාන්තාවකට හා පුරුෂයෙකුට පහරදෙන ආකාරය වීඩියෝගත වී තිබේ.

මෙම උද්ඝෝෂණවලට සහභාගී වූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙම වීඩියෝව ලබාගෙන ඇති අතර, පසුව වහාම එම ස්ථානයෙන් පිටතව මෙම වීඩියෝ දර්ශන ප්‍රංශයේ ලා මොන්ඩේ පුවත්පතට ලබාදී තිබේ.

පොලිස් නිලධාරියෙකු සහ මැක්රෝන්ගේ දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන වින්සන්ට් ක්‍රේස් නමැත්තා මොහු මෙම ස්ථානය වෙත රැගෙන එන ආකාරයද එම වීඩියෝවේ සටහන්ව තිබී ඇත.

මේ අතර ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරාඩ් කොලෝම්බ් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිට දන්වා ඇති බව මාධ්‍යයට පවසා ඇත.

මැක්රෝන් ප්‍රංශයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂකයන් අතර ප්‍රධාන තැනක්ද මොහුට හිමිවී ඇත.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයන් දෙදෙනාට මෙම අවස්ථාවට අත පෙවීමට කිසිදු නීතිමය අවසරයක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

පසුගිය මැයි මස 01 වැනිදා මැදි දින උද්ඝෝෂණයක් සඳහා උද්ඝෝෂකයන් 100ක් පමණ සහභාගි වී සිටි අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි.



Recommended Articles