ලෝ ප්‍රකට කාන්තා හා ළදරු නිෂ්පාදන සමාගමක් විසින් නිපදවූ පවුඩර් පෙළක් හේතුවෙන් පිළිකා ඇති වූ බවට කාන්තාවන් 22දෙදෙනෙකු විසින් ගොනුකර තිබූ නඩුවෙන් එම සමාගමට ඇ.ඩො.බිලියන 4.7කට ආසන්න වන්දියක් ගෙවීමට නියම කර තිබේ.
බී.බී.සී.ය වාර්තා කළ ආකාරයට, එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්ත අධිකරණයේ ජූරිය තීරණය කර ඇත්තේ අදාළ සමාගමට මූලික හානිපූර්ණය සඳහා ඇ.ඩො.මිලියන 550ක වන්දියක්ද, ඉතිරි ඇ.ඩො.බිලියන 4.1ක මුදල දඬුවමට අදාළ දඩය ලෙසත් ගෙවන ලෙසයි.
කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් තමන් මහත් කණස්සල්ලට පත්වන බව පවසා ඇති අදාළ සමාගම මෙම තීන්දුව සම්බන්ධයෙන් අපෑලක් ඉදිරිපත් කරන බවද මාධ්‍යයට පවසා ඇත.
මෙම සමාගම විසින් නිෂ්පාදනය කළ ළමා පවුඩර් පෙළ සහ ඔවුන්ගේ සෙසු පවුඩර් දීර්ඝ කාලීනව භාවිත කළ නිසා තමන්ට ගර්භාෂය ආශ්‍රිත පිළිකා තත්ත්වයක් ඇති වූ බව මෙම චෝදනා ගොනුකළ කාන්තාවන් අධිකරණය හමුවේ කරුණු පහදා ඇති බව වාර්තා වෙයි.
එහිදී, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අවධාරණය කර ඇත්තේ අදාළ සමාගමේ පවුඩර් නිෂ්පාදනවල වර්ෂ 1970 සිටම ඇස්බැස්ටස් අඩංගු වී ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ලෝ ප්‍රකට සමාගම පවසන්නේ තම නිෂ්පාදනවල කිසිම අවස්ථාවක ඇස්බැස්ටස් අඩංගු නොවූ බවයි.
එමෙන්ම, අදාළ නිෂ්පාදන ගැල්වීමෙන් පිළිකා තත්ත්වයක් ඇති නොවන බවද ඔවුන් අවධාරණය කර තිබේ.