නෝර්වේ හිදී දුනු හා ඊතල ප්රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කර, තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ චෝදනා ලැබූ ඩෙන්මාර්ක ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය ත්රස්ත ක්රියාවක් වනු ඇති බව නොර්වේ බුද්ධි සේවා විශ්වාසය පළ කරයි.
නෝර්වීජියානු පොලීසිය පැවසුවේ ඔස්ලෝ අගනුවරට කි.මී 70ක් බටහිරින් පිහිටි කොංග්ස්බර්ග් නගරයේදී 37 හැවිරිදි ඩෙන්මාර්ක ජාතිකයා අත්අංඩගුවට ගෙන එක රැයකින් ඔහුට එරෙහි චෝදනා ගොනුකළ බවයි. මෙම පුද්ගලයා සිය ආගම වෙනස් කර, ඉස්ලාමය වැලඳගත් අයෙකු වන අතර, ඔහුව රැඩිකල්කරණයට ලක්විය හැකි බවට මීට පෙරද පොලීසියට තොරතුරු ලැබී තිබූ අයෙකු බව කියයි.
කෙසේ වෙතත් මෙම ප්රහාරයට වෙනත් කිසිවෙකු සම්බන්ධ බවට කිසිදු හෝඩුවාවක් නොමැති බැවින්, මෙය හුදකලා ත්රස්ත ප්රහාරයක් ලෙස විශ්වාස කෙරෙයි. එරට බුද්ධි සේවාවන්ට අනුව මේ මොහොතේදී එය ත්රස්ත ක්රියාවක් ලෙස සැලකුවද, පරීක්ෂණවලින් පසුව ප්රහාරයේ පූර්ණ අභිප්රාය හෙළිවනු ඇති බවද සඳහන් කළේය.
මොහු සම්බන්ධයෙන් 2020 වසරේදී පොලීසියට පැමිණිලි ලැබීමෙන් පසුව, සෑම අවස්ථාවකදීම නිලධාරින් පසු විපරම් කර ඇත. කෙසේ වෙතත් මේ වසරේදී නව පැමිණිලි කිසිවක් වාර්තා නොවූ බව ප්රාදේශීය පොලිස් ප්රධානී ඔලේ සැවෙරුඩ් පැවසීය.
නෝර්වේ රාජ්ය මෑත වසර කිහිපය තුළ දක්ෂිනාංශික අන්තවාදීන්ගේ ත්රස්ත්ර ක්රියාවන් රැසකට මුහුණ දුන් අතර, 2011 වසරේදී තරුණ කඳවුරට සහ ඔස්ලෝහි පිහිටි රජයේ ගොඩනැගිලිවලට එල්ල කළ ප්රහාරය ඇතුළු ප්රහාරවලින් 77දෙනෙකු මිය ගියහ. කෙසේ වෙතත් ස්කැන්ඩිනේවියානු අසල්වැසියන් වන ස්වීඩනය සහ ඩෙන්මාර්කය මෙන් නොව, මිලියන 5.4 ක ජනතාවක් සිටින නෝර්වේ රාජ්ය මීට පෙර කිසි දිනෙක මාරාන්තික ඉස්ලාමීය ත්රස්ත ප්රහාරයකට මුහුණ දී නැත.
පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 50ත් 70ත් අතර වයසේ පසුවන කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. එමෙන්ම පොලිස් නිලධාරියෙකු ඇතුළුව දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.