නේපාලයේ වී නිෂ්පාදනය 2021 දී ටොන් මිලියන 5.13ක් දක්වා 8.74%කින් අඩු වී ඇති අතර, එය වසර පහක අවම අගයක් බවත්, ප්‍රධාන වශයෙන් ඔක්තෝබර් මාසයේදී ඇතිවූ අකල් වර්ෂාවෙන් සිදුවූ හානිය ඊට හේතුව බවත් නේපාල කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
2017, 2018, 2019 සහ 2020 වසරවල වී නිෂ්පාදනය පිළිවෙලින් ටොන් මිලියන 5.15ක්, ටොන් මිලියන 5.61ක්, ටොන් මිලියන 5.55ක් සහ ටොන් මිලියන 5.62ක් වූ අතර, මේ සියල්ල 2021 වසරේ නිෂ්පාදනයට වඩා වැඩි බව අමාත්‍යාංශය පවසයි.
වී වගා කරන භූමි භාගයන් ඉහළ ගොස් තිබියදීත් මෙම පහත වැටීම සිදුවී ඇති අතර දකුණු ආසියානු රාජ්‍යයෙහි වී ඵලදායිතාව හෙක්ටයාරයකට ටොන් 3.47ක් දක්වා 8.61%කින් පහත වැටී ඇති අතර, එය වසර හතරක අවම අගයක් බවත් අමාත්‍යාංශය පවසයි.
2021 වසරේ නේපාලයේ හෙක්ටයාර 1,477,378ක වී වගා කර ඇති අතර, එය පෙර වසරට වඩා හෙක්ටයාර 4,000ක් පමණ වැඩිවෙයි.
නේපාල කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන සංඛ්‍යාලේඛනඥ රාම් ක්‍රිෂ්ණා රෙග්මි පැවසුවේ වී නිෂ්පාදනය පහත වැටීමට ප්‍රධානතම හේතුව අකල් වර්ෂාපතනය බවයි. කෙසේ වෙතත් රටේ බොහෝ මිනිසුන් සහල් පරිභෝජනය කරන බැවින්, අඩු වී නිෂ්පාදනය රටේ ආහාර සුරක්ෂිතතාවට බලපෑම් කළ හැකි බවත්, ඒ නිසා ඉදිරියේදී සහල් ආනයනය වැඩිකිරීමට සිදුවිය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නේපාලයේ වී නිෂ්පාදනය වැදගත් වන්නේ එය රටේ සමස්ත ධාන්‍ය නිෂ්පාදනයට 50%කට පමණ දායක වන බැවිනි. නේපාලයේ කෘෂිකාර්මික අංශය දළ දේශීය නිෂ්පාදිතයෙන් 26%ක් පමණ වන බවද රජයේ දත්ත පෙන්වා දෙයි.