ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නගරයේ විශාල පිරිසකට තුවාල සිදුකරමින්, උමං දුම්රිය මාර්ගයක විවෘත වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අතරතුර ඊට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව නිව්යෝක් පොලීසිය පවසයි.
විමර්ශන සඳහා උනන්දුවක් ඇති පුද්ගලයෙකු ලෙස නම් කරමින් සැකකරුගේ ඡායාරූපයක් සහ විස්තර පොලීසිය විසින් ප්රකාශයට පත්කරන ලදී. ඒ අනුව, අඟහරුවාදා උදෑසන සිදුවූ වෙඩි තැබීමේ ප්රධාන සැකකරු ලෙස 62 හැවිරිදි ෆ්රෑන්ක් ජේම්ස් හඳුනාගෙන ඇති අතර, නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක ප්රධානී ජේම්ස් එසිග් ප්රකාශ කළේ අපරාධ ස්ථානයේ වැටී තිබූ යතුරක් සැකකරු පිළිබඳ විමර්ශන ඉදිරියට ගෙනගිය බවයි.
සැකකරු විසින් කුලියට ගත් රථයක යතුරක් එසේ වැටී තිබී ඇති අතර, විස්කොන්සින් සහ ෆිලඩෙල්ෆියා හි ලිපිනයන් ඔහුට තිබී ඇත. ඒ අනුව උමං මාර්ග වෙඩි තැබීමට ඔහුගේ සම්බන්ධය තිබේ නම්, ඔහුව සොයාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ජේම්ස් එසිග් කියා සිටියේය.
මෙම විවෘත වෙඩි තැබීමේ සිද්ධියේදී වෙඩි වැදුණු 10දෙනාට අමතරව තවත් 13දෙනෙකු දුම්රිය ස්ථානයෙන් පිටතට යාමට තැත් කිරීමේදී හෝ දුම ආඝ්රාණය වීමෙන් තුවාල ලබා ඇත. කෙසේ වෙතත් තුවාල ලැබූ කිසිවකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් පොලීසිය පවසයි.