නිරෝධායන නීති කඩකරමින් ඊට විරෝධය පෑ නෙදර්ලන්ත උද්ඝෝෂකයන් පොලිස් දැලේ


නව කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා වූ නෙදර්ලන්ත රජයේ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ගයන්ට විරෝධය පාමින් පැවැත්වීමට ගිය රැලිය නවත්වන ලෙස තහනම් නියෝගයක් තිබුණද, උද්ඝෝෂකයන් එය ප්‍රතික්ෂේප කිරීම නිසා හේග් නුවරට පැමිණි උද්ඝෝෂකයන් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හේග් මහ නගර සභාව විසින් අදාළ රැලිය තහනම් කර තිබුණද විරෝධතාකරුවන් දහසක් පමණ හේග් හි මැලිවෙල්ඩ් ප්‍රදේශයට එක් රැස්ව සිටියහ.

ඒ අනුව අදාළ තහනම් නියෝගය අනුව උද්ඝෝෂකයන්ට පිටව යන ලෙස පොලීසිය දැනුම්දී ඇති අතර, එහිදී පිරිසක් ඉවත්ව ගියද, තහනම් නියෝගයද නොතකා රැඳී සිටි පිරිස් පොලීසිය සිය බලය පාවිච්චි කරමින් අත්අඩංගුවට ගත් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පොලීසිය පවසා තිබුණි.

එහිදී මෙම රැලියට පැමිණි අයට ඉවත්ව යන ලෙස දැනුම්දීමට පෙර ඉතා සුළු වේලාවක් උද්ඝෝෂණයේ යෙදීමට අවස්ථාව දී, රැලිය නවත්වා ඔවුන්ට පිටව යන ලෙස දැනුම්දී ඇත. කෙසේ වෙතත් එහිදී පිටම යෑම ප්‍රතික්ෂේප කළ 200ක පමණ පිරිසෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

නෙදර්ලන්තයේ මේ වනවිට 50,000කට ආසන්න නව කොරෝනා ආසාදිතයන් වාර්තා වන අතර, එරට වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 6,109කි.



Recommended Articles