නිදහස් දකුණු අප්‍රිකාවක් දායද කළ ටුටූ සමුගනී


නොබෙල් සාම ත්‍යාගලාභී සහ සුදු සුළුතර පාලනයට එරෙහිව දකුණු අප්‍රිකාවේ අරගලයේ ප්‍රධාන චරිතයක් වූ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ වයස අවුරුදු 90ක් ආයුවලඳා කේප් ටවුන්හිදී අභාවප්‍රාප්ත වූ බව එරට ජනාධිපති කාර්යාලය ඉරිදා ප්‍රකාශ කළේය.

"නිදහස් වූ දකුණු අප්‍රිකාවක් අපට දායාද කළ විශිෂ්ට දකුණු අප්‍රිකානු පරම්පරාවකට අප ජාතියේ සමුගැනීමේ තවත් එක් පරිච්ඡේදයක් වන්නේ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු හිමිපාණන්ගේ අභාවයයි" යනුවෙන් ජනාධිපති සිරිල් රමපෝසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

වර්ණභේදවාදයට එරෙහි අවිහිංසාවාදී විරෝධය වෙනුවෙන් 1984 දී ටුටූ නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්හ. දශකයකට පසු, ඔහු එම පාලනයේ අවසානය දුටු අතර, එම අඳුරු දිනවලදී සිදු කරන ලද සාහසික ක්‍රියා හෙළිදරව් කිරීම සඳහා පිහිටුවන ලද සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ සභාපතිවරයා ලෙසද කටයුතු කළහ.

1990 ගණන්වල අගභාගයේදී ටුටූට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් ඇති බව හඳුනා ගන්නා ලද අතර, මෑත වසරවලදී ඔහුගේ පිළිකා ප්‍රතිකාර හා සම්බන්ධ ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා අවස්ථා කිහිපයකදී රෝහල් ගත කරන ලදී.

එසේම කොවිඩ්-19 සඳහා සිය එන්නත් මාත්‍රාව ලබා ගැනීම සඳහා ටුටූ 2021 මැයි මාසයේදී දුර්ලභ ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටියහ. වර්ෂ 1955 දී ලියා සමග විවාහ වී තිබූ ටුටූ, දරුවන් සිව් දෙනෙකුගේ පියෙකුද වූහ.



Recommended Articles