නවසීලන්තයේ නව ආසාදිත මතුවීම් පද්ධතියේ ඇති වූ අසමත්කමක් - අගමැතිනිය


නවසීලන්තයේ නව කොරෝනා ආසාදිතයන් සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති පසුබිමක හිටි හැටියේම යළි මතු වූ ආසාදිතයන් දෙදෙනා පද්ධතියේ සිදුවූ පිළිගත නොහැකි අසමත් වීමක් නිසා සිදුව ඇති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් කියයි.

"මෙම ආසාදිතයන් පද්ධතියේ පිළිගත නොහැකි අසාර්ථකත්වයක් නියෝජනය කරනවා. එය කිසි විටෙකත් සිදු නොවිය යුතුයි. එය නැවත සිදුවිය නොහැකියි"අගමැතිනිය පැවසුවාය.

නවසීලන්තයේ නව කොරෝනා වෛරස් රෝගය දින 24කට පසුව වාර්තා වූ පළමු වැනි අවස්ථා මෙය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එක්සත් රාජධානියේ සිට ඔස්ට්‍රේලියාව හරහා නවසීලන්තයට පැමිණි එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු මෙම ආසාදිතයන් දෙදෙනා වන අතර, සානුකම්පිත හේතු මත ඕක්ලන්ඩ් හි හුදකලා හෝටලයකින් පිටව යාමට සහ එතැන් සිට මියගිය ඥාතියෙකු බැලීමට පුද්ගලික වාහනයකින් වෙලින්ටන් වෙත යාමට ඔවුන්ට අවසර ලබා දී ඇත.

මේ තත්ත්වය තුළ නවසීලන්තයේ නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා තමන් හමුදාව පත් කරන බවද ආර්ඩේන් නිවේදනය කළාය.



Recommended Articles