නවසීලන්තය දූපතක් වීම එරට රෝගීන් අඩුවීමේ හේතුවක්ලු


නවසීලන්තය තුළ අඛණ්ඩව සිව්වැනි දිනටත් නව කොරෝනා ආසාදිතයන්ගේ පහළ යෑමක් වාර්තා වන බවත්, මෙය බොහෝ රටවලට තමන්ට අත්කරගත නොහැකි තත්ත්වයක් වී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

බ්‍රහස්පතින්දා නවසීලන්තය විසින් නව තහවුරු රෝගීන් 29ක් වාර්තා කළ අතර, අද එරටින් ආසාදිතයන් 44 දෙනෙකු සමග නවසීලන්තයේ මුළු ආසාදිත සංඛ්‍යාව 1,283ක් විය. එම රෝගීන්ගෙන් එක් අයෙකු පමණක් මරණයට පත්ව සිටියත්, අද දිනයේ වයස අවුරුදු 90ක වයෝවෘද්ධ කාන්තාවක සමග තවත් මරණයක් වාර්තා වෙයි.

අද වාර්තා වූ නව ආසාදිතයන් 44 දෙනා අතරින් 14 දෙනෙකු කලින් රෝගීන් හා සම්බන්ධ අය බව කියැවෙයි. මේ අතර, 317දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇත.

මිලියන 5කට අඩු ජනගහනයක් සහිත දූපත් රාජ්‍යයක් වන නවසීලන්තය, වෛරසය පාලනය කිරීමට පමණක් නොව, එය තුරන් කිරීම අරමුණු කරගනිමින් මාසයක් පුරා එරට වසා දැමීමටද මේ වනවිට පියවර ගෙන තිබේ.

නවසීලන්තය පෙන්වා ඇති මෙම ධනාත්මක සංඥාව වෙනත් රටවල්ද මේ වනවිට ආදර්ශයට ගනිමින් සිටියි. මේ වනවිට අවම වශයෙන් ආසාදිතයන් 5,597ක් හා මරණ 218ක් වාර්තා වන ඩෙන්මාර්කයද ලබන සතියේ රට වසා දැමීමට කටයුතු කරන බව පවසන්නේ ඒ අනුවය.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩර්න් බ්‍රහස්පතින්දා කියා සිටියේ තමන් දේශසීමා සීමාකිරීම් දැඩි කරන බවයි. එයින් අදහස් කරන්නේ රටට පැමිණෙන සියලු දෙනාටම නිවසේදී ස්වයං හුදකලා වීමට වඩා අනුමත ස්ථානයක නිරෝධායනය කිරීමට සති දෙකක් ගතකළ යුතු බවකි. මෙම නීතිය අදාළ වන්නේ නවසීලන්ත වැසියන්ට පමණක් වන්නේ, පසුගිය මාර්තු 20දා සිට විදේශිකයන් රට තුළට ඇතුළුවීම දැනටමත් තහනම් කර ඇති නිසාය.

"නවසීලන්ත වැසියන් පසුගිය සති දෙක තුළ කර ඇති දේ අති විශාල යැයි කීමට මට කිසිදු පැකිලීමක් නැහැ" ආඩර්න් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ බොහෝ නවසීලන්ත ජාතිකයන් රජය ලබාදුන් මෙම තීරණයන්ට සාවධානව සවන් දුන් බවයි. "ඔබ සියලු දෙනා මේ තීරණය ගත්තේ රටක් විදියට. අපට එකිනෙකා ආරක්ෂා කර ගත හැකියි. එය ඔබට පුළුවන්. ඔබ දැනටමත් ජීවිත බේරාගෙන තිබෙනවා."

ඇය වැඩිදුරටත් කියා සිටියේ, "නමුත් මම කී පරිදි මෙය මැරතන් තරඟයක් වනු ඇති." බවයි.

නවසීලන්තයේ කොවිඩ්-19 ආරම්භය

කොරෝනා වෛරසයට එරෙහි සටනේදී නවසීලන්තයට ප්‍රධාන වාසි දෙකක් තිබුණු අතර, ඒ එරට භූගෝලීය පිහිටීම සහ කාලයයි.

පෙබරවාරි 28 වැනි දින නවසීලන්තය සිය පළමු කොරෝනා වෛරසය පිළිබඳ සිද්ධිය සනාථ කළේය. ඒ එක්සත් ජනපදය සිය පළමු සිද්ධිය තහවුරු කර මාසයකට පසුවය. මාර්තු 29 වැනි දින නවසීලන්තය සිය පළමු හා මෙතෙක් තහවුරු කළ එකම කොරෝනා මරණය වාර්තා කළේය.

"මම හිතන්නේ අපට ඒ ගැන සිතා බැලීමට තව ටිකක් කාලය තිබෙනවා. චීනයේ අත්දැකීම්වලින් අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝයි" කොරෝනා පාලනය සම්බන්ධයෙන් නවසීලන්ත රජයට උපදෙස් ලබාදෙන ඔටගෝ විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මයිකල් බේකර් පැවසීය.

ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥ සියොක්සි වයිල්ස් පැවසුවේ නවසීලන්තයට වෙනත් බොහෝ රටවලට වඩා දුරින් පිහිටි දූපතක් වීමේ වාසියද ඇති බවයි.

"දූපතක් වීම වෛරසය තුරන් කිරීමට අපට ඇති හැකියාවෙහි විශේෂ වාසියක්" බව අගමැතිනියද බ්‍රහස්පතින්දා පවසා සිටියාය.

නමුත් නවසීලන්තයෙන් සැබෑ පාඩම වෛද්‍ය ක්ෂේත්‍රයේ උසස් බව හා නායකත්වයේ එකතුවක් බව මහාචාර්ය බේකර් පැවසීය. "ඒ වගේම නවසීලන්තය පුළුල් පරීක්ෂණයක් සිදුකළා. අද වනවිට නවසීලන්තය පරීක්ෂණ 51,165ක් සිදුකර තිබෙනවා. මේ සතිය මුලදී එක්සත් රාජධානිය (නවසීලන්තයට වඩා 13 ගුණයක් පමණ ජනගහනයක් සිටින රටක්) සිදුකර තිබුණේ පරීක්ෂණ 208,837ක් පමණයි."

ලෝකයේ විශිෂ්ඨතම වෛද්‍ය විද්‍යා සම්පත් ඇති එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවල්, ඔවුන්ට සාපේක්ෂව සම්පත්වලින් අඩු නවසීලන්තය වැනි රටකට වඩා හොඳ මට්ටමක නොසිටීම ගැන තමා සැබවින්ම කනගාටුවට පත්ව ඇති බව මහාචාර්ය බේකර් පැවසීය.

"ඔබ සියලු දෙනාටම මේ වෛරසය පිළිබඳ තොරතරුවලට තිබුණේ එකම ප්‍රවේශයක්. මුළු ලෝකයම මෙහි පැමිණීම දුටුවා. එය මන්දගාමී සුනාමියක් වගෙයි. එය එහි ලක්ෂණ කිසිසේත්ම වෙනස් කර නැහැ. වෛරසය ඉතා ස්ථායී ලෙස ගමන් කරනවා." මහචාර්ය බේකර් වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් ලෙස අපද මේ අවස්ථාවේදී සතුටට පත්විය යුතු වන්නේ නවසීලන්තයටත් වඩා ඉතාමත්ම සීමිත සම්පත් ප්‍රමාණයක් මගින් අපේ වෛද්‍ය, හෙද හා ආරක්ෂක අංශ ඇතුළු කොවිඩ්-19 සටනට සම්බන්ධ සියලු පාර්ශ්ව මේ දක්වා ලබා ඇති ප්‍රගතියයි. එය තවදුරටත් සැබෑ ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමටත්, අන් අයගේ ජීවිත බේරාගැනීමටත් වගකීමක් ඔබ සතුව ඇත. ඒ නිසා දූපත් රාජ්‍යයක් ලෙස අපටද මේ අවස්ථාවේදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින්, වෙළෙඳ සැල්, බැංකු අසල පොදි නොකා වගකීමෙන් යුතු ජනතාවක් ලෙස මෙම සටන ලෝකයටම ආදර්ශයක් දෙමින් ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් ලැබී තිබේ. ඒ සඳහා ඔබත් කැපවෙන්න.



Recommended Articles