නව කොවිඩ් ප්‍රභේදය නිසා දේශසීමා පාලන දැඩි කරයි


වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව නව ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ඇතැම් රටවල් කඩිනමින් සිය දේශසීමා පාලනය දැඩි කිරීමට පියවර ගෙන තිබේ.

ජපානය දකුණු අප්‍රිකානු රටවල් වන මොසැම්බික්, මලාවි සහ සැම්බියාව සඳහා දේශසීමා පාලනය දැඩි කරනු ඇති අතර, ඕනෑම සංචාරකයෙකුට දින 10ක නිරෝධායනයක් අවශ්‍ය වන බව එහි විදේශ අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කළේය.

තායිලන්තය සෙනසුරාදා කියා සිටියේ ප්‍රභේදය සඳහා ඉහළ අවදානමක් ලෙස නම් කරන ලද අප්‍රිකානු රටවල් 08කින් පැමිණෙන පුද්ගලයින්ට ඇතුළුවීම තහනම් කරන බවයි.

දෙසැම්බර් මාසයේ සිට බොට්ස්වානා, එස්වාටිනි, ලෙසෝතෝ, මලාවි, මොසැම්බික්, නැමීබියාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ සිට තායිලන්තය වෙත ගමන් කිරීම තහනම් වේ.

ඕමානය නොවැම්බර් 28දා සිට දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, මොසැම්බික්, ලෙසෝතෝ සහ එස්වාටිනි යන රටවල සංචාරකයන්ට ඇතුළුවීම අත්හිටුවා ඇති බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

එසේම දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ, එස්වාටිනි, සීෂෙල්ස්, මලාවි සහ මොසැම්බික් යන දකුණු අප්‍රිකානු රටවල් නවයේ සංචාරකයන්ට ලබන සතියේ ආරම්භයේ සිට නවසීලන්තය වෙත ඇතුළුවීම තහනම් කරනු ඇත.



Recommended Articles