නරේන්ද්‍ර මෝදි ඇමති මණ්ඩලයේ වැඩිම අත්පොළසන් හඬ ප්‍රතාප්ට


නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ප්‍රතාප් චන්ද්‍රා සාරන්ගි වෙත වැඩිම අත්පොළසන් හඬ ලැබුණු බව විදෙස් වාර්තා පවසයි.

බොහෝදෙනෙකු එතරම් නොදන්නා, බැලූ බැල්මට අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නෙකු ලෙස පෙනෙන ඔහු මේ වනවිට ඉන්දීය සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්ව ඇති චරිතයයි.

ඔහු තමා ජීවත් වන කටුමැටි නිවසින් පිටතට පැමිණෙන දසුන්, ත්‍රීවීලරයක නැගී ඡන්ද ව්‍යාපාරයේ යෙදුනු ඡායාරූප ඒ අතර හුවමාරු වෙමින් පවතී.

සිය ඡන්ද ව්‍යාපාරය අතරතුර ඔහු බොහෝවිට ඔඩිස්සා (ඔරිස්සා) ප්‍රාන්තයේ ගමින් ගමට යෑමට යොදාගෙන තිබුණේ ඔහුගේ පාපැදියයි.

මහමග හමුවන කුඩා කඩයකින් සප්පායම් වූ ඔහු ඇතැම් විට දුම්රියක් පැමිණෙන තුරු දුම්රිය ස්ථානයේ රැඳී සිටි දසුන් ඔඩිස්සා වැසියන්ට දුලභ නොවීය.

කෙසේ වෙතත්, ඔහු මේ වනවිට ඔඩිස්සා ප්‍රාන්තයේ දුගී ජනතාව වෙත පාසල් 100ක් ඉදිකර දීමට සමත්ව සිටි අතර, මත්පැන් පානයට සහ දූෂණයට එරෙහිව නැගී සිටින්නෙකු ලෙසද ප්‍රසිද්ධව සිටියේය.

මෙවර ඉන්දීය මහ මැතිවරණයේ එවැනි අතිශය ප්‍රබල හා ධනවත් චරිත මැද අමාත්‍ය ධුරයක් දක්වා ඔහුගේ පැමිණීම අතිශය සුවිශේෂී සිදුවීමක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles