නයිජීරියාවේ ගොවීන් සහ ගව පාලකයන් ගැටී 86ක් මරු දකී


මධ්‍යම නයිජීරියාවේ ප්ලේටේවු ප්‍රාන්තයේ ගොවීන් සහ ගව පාලකයන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම ගැටුම් ආරම්භ වූ බව පොලීසිය පවසයි. එහිදී, බෙරෝම් ගොවීන් විසින් ෆුලානි ගව පාලකයන් පස් දෙනෙකු මරා දැමීමත් සමග ගැටුම් උත්සන්න වී තිබේ.

මේ ඔස්සේ ඇදී ගිය ගැටුම් පසුගිය සෙනසුරාදා දිනය වනවිට වඩාත් දරුණු ස්වරූපයක් ගෙන ඇති අතර, මරණ සංඛ්‍යාවද වැඩි වී තිබේ.

භූමියේ අයිතිය ඉලක්ක කර ගනිමින් වසර ගණනාවක් පුරා මෙම ජනවර්ග අතර ගැටුම් පවතින බව නයිජීරියානු පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, මේ වනවිට ප්‍රාන්තයේ කොටස් තුනක ඇඳිරි නීතිය පනවා ඇති අතර, මියගිය 86 දෙනාට අමතරව, තවත් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.

මීට අමතරව, නිවාස 50ක් සම්පූර්ණයෙන්ම ගිනිබත් කර ඇති අතර, යතුරුපැදි 15ක් සහ මෝටර් රථ 2ක්ද ගිනි තබා විනාශ කර තිබේ.



Recommended Articles