නන්දා දේවි නගින්න ගිය අටේ කණ්ඩායමක් අතුරුදන් වෙලා


ඉන්දියාවේ දෙවැනි විශාලතම කන්ද ලෙස සැලකෙන නන්දා දේවි තරණය කිරීමට ගිය කඳු තරණය කරන්නන් 8 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

මෙම කණ්ඩායමට බ්‍රිතාන්‍ය ජාතිකයන් සිව්දෙනෙකුද ඇතුළත් වන අතර, ඔවුන් මීටර් 7,816ක් උස හිමාල කඳු වැටියේ නැගෙනහිරින් වූ නන්දා දේවී තරණය අරඹා ඇත්තේ පසුගිය මැයි 13 වැනිදාය.

කෙසේ වෙතත්, ඔවුන් සලසුම් කළ දිනට ප්‍රධාන කඳවුර වෙත ළඟා නොවූ බැවින්, මුදාගැනීමේ කණ්ඩායම් කිහිපයක්ම ඔවුන් පිළිබඳ සෙවීමට යොමුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

නමුත්, ප්‍රදේශයට මේ වනවිට පවතින දැඩි වර්ෂාපතනය මෙන්ම, දැඩි හිමපතනයද සෝදිසි මෙහෙයුම් අඩපණ කර ඇති බව බලධාරීහු පවසති.

මෙහිදී, කාලගුණය යහපත් වූ වහාම ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටරයක් යොදවා අද දිනයේ සෝදිසි මෙහෙයුම් කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

හිමාලය කඳු පන්තියේ එවරස්ට් හා පරිවාර කඳු තරණය කිරීමට ගොස් අතුරුදන් වූ හෝ ජීවිතක්ෂයට පත්වූවන් වරින් වර වාර්තා වන අතර, පසුගිය කාලයේදී එවරස්ට් කඳුතරණයේ ජීවිත හානි රැසක් වාර්තා වී තිබුණි.



Recommended Articles