ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්, ට්‍රම්ප්ව හදිසියේම ආරක්ෂක අංශ රැගෙන යයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය අසල ඊයේ (10දා) සිදුවූ වෙඩි තැබීමක් සමග, එහි මාධ්‍ය හමුවකට සහභාගී වී සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හදිසියේම ආරක්ෂක අංශ පැමිණ ඉවත් කරගෙන තිබේ.

මිනිත්තු කිහිපයකට පසු වෙඩි තැබීමේ සිද්ධිය පාලනය කිරීමෙන් පසු ට්‍රම්ප් නැවතත් මාධ්‍ය හමුව වෙත පැමිණි බව විදෙස් වර්තා පවසිය.

ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ධවල මන්දිරය අසල සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, මේ වනවිට රහස් ඔත්තු සේවයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

මෙම සිදුවීම ධවල මන්දිර භූමියෙන් පිටත ලෆයෙට් චතුරස්‍රයට ආසන්නව සිදුව ඇති බවද එම නිලධාරියා පැවසීය.

ජනාධිපතිවරයා මාධ්‍ය සමග සාකච්ඡාව ආරම්භ කළ අවස්ථාවේදී ඒ අසලට රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකු පැමිණ තිබේ.

"මට සමාවෙන්න?" ආරක්ෂකයා ඔහුට ළංවන විට ට්‍රම්ප් කීවේය.

"පිටතට යා යුතුයි" නියෝජිතයා පැවසීය.

"ඔහ්...!" ට්‍රම්ප්ට ඉබේටම කියවුණි.

කාමරයෙන් පිටවීමට පෙර නිලධාරියා ඔහුගේ කනට කර යමක් පැවසූ අතර, ට්‍රම්ප් ඉන් පිටවීමට යුහුසුළු විය.

ට්‍රම්ප් විනාඩි කිහිපයකින් නැවතත් මාධ්‍ය හමුවට පැමිණි විට ඔහු කියා සිටියේ තමාව ඕවල් කාමරය වෙත රැගෙන ගිය බවය.

"රහස් ඔත්තු සේවය සමග මට ඉතා ආරක්ෂිත බවක් දැනෙනවා. ඔවුන් අපූරු පුද්ගලයන්. ඔවුන් හොඳම අයයි. ඔවුන් ඉහළ පුහුණුව ලැබූ අයයි" ට්‍රම්ප් ආපසු පැමිණ මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. "ඔවුන්ට අවශ්‍ය වූයේ පිටත සියල්ල පැහැදිලි බව තහවුරු කරගන්නා තුරු මා ටික වේලාවක් පසෙකට කර තැබීමටයි."



Recommended Articles