දේශගුණික අභියෝගයන්ට එක්ව ක්‍රියාකරමු - ෂී ජින්පිං


දේශගුණික අභියෝගයන්ට සාමූහිකව මුහුණ දීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (COP26) 26 වැනි සැසියේදී ලෝක නායක සමුළුව සඳහා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් චීන නායකයා මේ බව කියා සිටියේය.

දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් වඩ වඩාත් පැහැදිලි වී ඇති බවත්, ගෝලීය ක්‍රියාමාර්ග සඳහා වර්ධනය වන හදිසි අවශ්‍යතාවක් ඉදිරිපත් කරන බව පවසමින් ඔහු බහුපාර්ශ්විකත්වයට අනුගත වීම, ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම සහ හරිත පරිවර්තනය වේගවත් කිරීම අවධාරණය කළේය.

දේශගුණික විපර්යාස වැනි ගෝලීය අභියෝග සම්බන්ධයෙන් ගත්විට, බහුපාර්ශ්විකත්වය නිවැරදිම ඔසුව බව පැවසූ ෂී, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ සහ එහි පැරිස් ගිවිසුමේ වැදගත්කම අවධාරණය කළේය.

මේ සියලු දර්ශනයන් සැබෑ වන්නේ අප ඒවා මත ක්‍රියාත්මක වූ විට පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

"සංවර්ධිත රටවල් තමන් විසින්ම වැඩිපුර කටයුතු කළ යුතු අතරම, සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා හොඳින් කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා සහාය ලබාදිය යුතුයි" ඔහු පැවසීය.

හරිත සංක්‍රාන්තිය සම්බන්ධයෙන්, රටවල් විද්‍යාව හා තාක්‍ෂණයේ නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යා යුතු බවත්, බලශක්ති සහ සම්පත් අංශ මෙන්ම කාර්මික ව්‍යුහය සහ පරිභෝජන රටාව වැඩිදියුණු කළ යුතු බවත් ෂී සඳහන් කළේය.

2030 ට පෙර කාබන් විමෝචනය අවම කිරීම සහ 2060 ට පෙර කාබන් උදාසීනත්වය ළඟා කර ගැනීමේ චීනයේ අරමුණ ගැන සඳහන් කළ ඔහු, චීනය පරිසර සංරක්ෂණයට ප්‍රමුඛත්වය දෙමින් සංවර්ධනය සඳහා හරිත හා අඩු කාබන් මාවතක් අනුගමනය කරන බව වැඩිදුරටත් අවධාරණය කළේය.



Recommended Articles