කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ද්විත්වය ලබාදී (සම්පූර්ණ මාත්‍රාවෙන් පසුව) මාස තුනක් ගතවන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ආරක්ෂිත බව යුරෝපීය සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපා ඖෂධ ඒජන්සිය (EMA) පෙන්වා දෙයි.
මීට පෙර ඔවුන් පවසා තිබුණේ, පළමු එන්නත් මාත්‍රා දෙක ලබාගත් පුද්ගලයන් ඔවුන්ගේ බූස්ටර් මාත්‍රාව ලබාගැනීමට පෙර මාස 6ක් බලා සිටිය යුතු බවයි.
"මෙතෙක් පැවති නිර්දේශය වුණේ මාස හයකට පසුව බූස්ටර් පරිපාලනය කිරීම වඩාත් සුදුසු බවයි. නමුත් දැනට පවතින දත්ත අනුව පළමු මාත්‍රා සම්පූර්ණ කිරීමෙන් මාස තුනක් ගතවන විට බූස්ටර් මාත්‍රාව ආරක්ෂිත සහ ඵලදායි පරිපාලනය සඳහා සහාය වන බව ප්‍රතිඵලවලින් පෙනී ගියා" යුරෝපා ඖෂධ ඒජන්සියේ එන්නත් උපාය මාර්ග ප්‍රධානී මාර්කෝ කැවලේරී පැවසීය.
යුරෝපා ඖෂධ ඒජන්සියේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ දැනටමත් ගෝලීය වශයෙන් රටවල් 60කට ආසන්න ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇති නව ඔමික්‍රෝන් ප්‍රභේදය මතුවීමත් සමග ලෝකය දැඩි අවධානයෙන් සිටින පසුබිමකය. එමෙන්ම වසංගතයට මුහුණදීම සඳහා මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය) ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කමද කැවලේරි අවධාරණය කළේය.