දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් නජීබ් රසාක් ඇපමත මුදාහරී


සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනා තුනකට සහ බලය අයුතු ලෙස යොදාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනුණු මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එම චෝදනාවලින් නිදොස් කොට ඇපමත මුදාහැර තිබේ.

මැලේසියාවේ පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ රසාක් එරට දූෂණ විරෝධී බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇපමත මුදාහැර ඇති බව විදෙස් වාර්තා පවසයි.

හිටපු අගමැතිවරයා විසින් පිහිටවනු ලැබූ රාජ්‍ය අරමුදලකින් ඇ.ඩො.මිලියන 700ක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, තවත් ඩොලර් බිලියන ගණනක මුදලක් ගිණුම්වල සටහන් නොවීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදුවෙමින් පවතී.

මීට අමතරව, ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ සතුව තිබූ ඇ.ඩො.මිලියන 273ක් පමණ වටිනා ආභරණ මෙන්ම, අත්බෑග් සහ මුදල් තොගයක්ද පොලිස් අත්ඩංගුවට පත්විය.

මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන නජීබ් රසාක්, මෙසේ චෝදනාවලින් නිදහස් වුවද, ඔහුට එරෙහිව වෙනත් රටවල ද තවම පරීක්ෂණ පැවැත්වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles