දුර්වල ප්‍රතිශක්තියක් පවතීනම් 3 වැනි මාත්‍රාවක් සලකා බලයි


කොවිඩ්-19 එන්නත්කරණයේදී දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයගේ ප්‍රතිශක්තිය තවදුරටත් වර්ධනය කිරීම සඳහා තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් දැනට සිදුකර ඇති කුඩා අධ්‍යයනයන්වලදී තෙවැනි මාත්‍රාවකින්ද, පළමු හා දෙවැනි මාත්‍රා ලබාදීමේදී අත්විඳි කෙටි කාලීන අතුරු ආබාධ දැක ඇති බව කියයි.

සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් හා සසඳන විට නිර්දේශිත ප්‍රාථමික එන්නත් මාත්‍රා දෙක අනුගමනය කිරීමේදී දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන්ගේ ප්‍රතිදේහ ප්‍රතිචාරය අඩු බවක් පවතින බව ඔවුන් දත්ත ඉදිරිපත් කරමින් පවසයි.

"දැනට ඇති දත්තවලට අනුව, ප්‍රතිශක්තිකරණයට ලක් නොවූ පුද්ගලයන් වෙත අතිරේක කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් ලබාදීම මගින් ඔවුන්ගේ ප්‍රතිදේහ ප්‍රතිචාරය වැඩි කරන අතර, වෛරසයට එරෙහිව ප්‍රතිචාර දක්වන අනුපාතය වැඩි කරන බව පෙනී ගොස් තිබෙනවා." කෙසේ වෙතත් අතිරේක මාත්‍රාවන් ලබාදිය යුතුද යන්න පිළිබඳ නිර්දේශය සඳහා කමිටුව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර, එය තවම සිදුව නොමැත.

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ඉදිරිපත් කිරීම අනුව 2013 වසරේ දත්ත පදනම් කරගෙන එක්සත් ජනපද වැඩිහිටියන්ගෙන් 2.7%ක් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිතව ජීවත් වෙති. එච්.අයි.වී-ඒඩ්ස්, පිළිකා සහ අවයව බද්ධ කිරීම් හෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇති පුද්ගලයන් මෙම කණ්ඩායමට ඇතුළත් වේ. එම පුද්ගලයන් කොවිඩ්-19වලින් දරුණු රෝග හා මරණයට පත්වීමේ අවදානම වැඩිය.

හෘද, පෙනහළු, වකුගඩු හෝ අක්මා බද්ධ කිරීම් සහ රසායනික චිකිත්සාව ලබාගන්නා පිළිකා රෝගීන් ඇතුළු ප්‍රතිශක්තීකරණය අඩු පුද්ගලයන්ට ඊශ්‍රායලය විසින් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙහි තෙවැනි මාත්‍රාව ලබාදීම පසුගිය සතියේ ආරම්භ කරන ලදී.

ඒ අනුව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයද එවැනිම නිර්දේශයකට ආසන්න බව විශ්වාස කෙරෙයි. කෙසේ වෙතත් ඔවුන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන්ගෙන් දැනටමත් ඉල්ලා ඇත්තේ කොවිඩ්-19 ට එරෙහිව පූර්ණ එන්නත් ලබාගත්තද පූර්වාරක්ෂාක පියවර තවදුරටත් අනුගමනය කරන ලෙසයි.



Recommended Articles