දැඩි නියඟයෙන් සෝමාලියාව ඇතුළත බිහිසුණු තත්ත්වයක්?


සාගතයේ උග්‍ර අවදානම් මධ්‍යයේ නියඟයෙන් පීඩාවට පත් මිලියන සංඛ්‍යාත සෝමාලි වැසියන්ගේ විනාශකාරී ඉදිරි අනාගතය ගැන එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

සෝමාලියාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සහ මානුෂීය සම්බන්ධීකාරක ඇඩම් අබ්දෙල්මූලා, සංවර්ධන හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ඉක්මනින් ක්‍රියා කරන ලෙසත් සෝමාලියාවේ වේගයෙන් වැඩිවන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සම්පත් ලබාදීමට සහ තවත් ජීවිත බේරා ගැනීමට උදව් කරන ලෙසත්ය.

"අපට ඇති සීමිත සම්පත් සමග මානුෂීය ආධාර අවශ්‍ය සියලු දෙනාගෙන් මිලියන 2.4ක් කරා ළඟාවීමට අපට හැකි වී ඇත්තේ ජනවාරි සහ අප්‍රේල් මාස අතර පමණයි" අබ්දෙල්මූලා මොගඩිෂු අගනුවරදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අඟහරුවාදා සෝමාලියාවේ නියඟය වෙනුවෙන් වූ ප්‍රතිචාර සඳහා අලුතින් පත් කරන ලද විශේෂ නියෝජිත අබ්දිරහ්මාන් අබ්දිෂාකුර් වර්සාමේ සමග ඔහුගේ පළමු ක්ෂේත්‍ර සංචාරයට නිරිතදිග සෝමාලියාවට ගියේය.

"තත්ත්වය අතිශයින්ම භයානක සහ දරුණුයි. මේ වසර අවසන් වීමට පෙර මිලියන 7.1 ක ජනතාවක් මෙම නියඟ තත්ත්වයෙන් පීඩාවට පත්වනු ඇති" අබ්දෙල්මුලා පැවසීය.

මැයි මාසය වන විට, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) හි මෑත වාර්තාවකට අනුව, නියඟ හදිසි තත්ත්වය හේතුවෙන් සෝමාලි වැසියන් මිලියන 6.1ක් පමණ පීඩාවට පත්ව සිටිති.

එම ප්‍රමාණයෙන් 771,400ක් ජලය, ආහාර සහ තණබිම් සොයා තම නිවෙස්වලින් අවතැන් වී ඇති අතර, OCHA කාර්යාලයට අනුව බහුතරය කාන්තාවන් සහ ළමයින්ය.



Recommended Articles