දවසකට 4,000ක් මියැදෙනවා නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි -අනතුරු ඇඟවීමක්


නව කොරෝනා වෛරස වසංගතය දිනකට සාමාන්‍යයෙන් ඇමරිකානුවන් 1,000ක් සහ ගෝලීය වශයෙන් 4,000ක් ජීවිතක්ෂයට පත්කරමින් සිටිනවා නම්, මෙය නව සාමාන්‍ය තත්ත්වයක් නොවිය යුතු බව බ්ලූම්බර්ග් පාසලේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ටොම් ඉන්ගල්ස්බි අනතුරු අඟවයි.

"අප මීට වඩා අවධානය යොමුකළ යුතුයි. වෛරසය හේතුවෙන් රට තුළත්, ගෝලීයවත් දෛනිකව මෙතරම් මිනිසුන් ප්‍රමාණයක් මියැදෙනවා නම්, එය නව සාමාන්‍ය තත්ත්වයක් ලෙස මිනිසුන් පිළිගැනීම ගැන මා කනගාටු වෙනවා. මෙය සාමාන්‍ය දෙයක් නොවෙයි. මෙය භයානක අනතුරක්. මේ ගැන අප සැලකිලිමත් විය යුතුයි"

කෙසේ වෙතත් වෛරසයේ නව ආසාදිතයන් බින්දුවේ අගයට පත්ව ඇති රටවල් ලෙස නවසීලන්තය හා තායිලන්තය වැනි රටවල් උදාහරණ ලෙස ගත් ඉන්ගල්ස්බි, මෙය පාලනයෙන් තොරවී ඇති සියලු රටවල් ඒ සඳහා වෑයම් කළ යුතු බව අවධාරණය කළේය.

"එන්නතක් ලබාගන්නා තුරු දිනකට ඇමරිකානුවන් 1,000ක් අහිමි වීම නිසා අපි මේ වෑයමෙන් ඉවත් වෙනවාද?" ඔහු ප්‍රශ්න කළේය. "මම හිතන්නේ අපි ඉවත්විය යුතු නැහැ. මොකද සමාජ දුරස්ථකරණ වැඩසටහන් බොහෝ රටවල සාර්ථක වී තිබෙනවා. නමුත් ඇතැම් ස්ථානවල ජනතාව තමන්ගේ ස්වයං ආරක්ෂාව සලසා ගැනීම පහත දමා තිබෙනවා. ආර්ථිකය ඕනෑවටත් වඩා කඩිනමින් විවෘත කිරීමට යුහුසුළු වීම තුළත්, රෝගය පැතිරීම වේගවත් වී තිබෙනවා."

විශේෂයෙන්ම ගෘහස්ථ ස්ථානවල රැස්වීම් පැවැත්වීම හෝ ජන ඒකරාශීවීම් වෛරසය අඛණ්ඩව පැතිරීමේ අන්තරායක් ලෙස ඔහු අනතුරු අඟවා සිටියේය.

"ඔබේ පවුලේ සාමාජිකයක් නොවන, ඔබ සේවය කරන ස්ථානයේ හෝ වෙනත් රැස්වීමකදී හෝ ඔබ ගෘහස්ථව වැඩි වේලාවක් ඔවුන් සමග ගත කරනවා නම් දීර්ඝ කාලයක් ඒ ස්ථානයේ සිටින අය හුස්ම ගන්නා වාතය ඔබ ආශ්වාස කරනවා. ඔබ ඔවුන් සමග සමීප දුරක සිටියේ නම් ඔබට ඇති කරන අවදානම තවත් වැඩියි. අප මෙවැනි දේ ගැන සැලිකිලිමත් විය යුතුයි" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles