දකුණු කොරියා හිටපු ජනපතිනී තවත් වසර 8ක සිර දඬුවමකට


දූෂණ චෝදනා හේතුවෙන් අවමානයට ලක්ව ධුරයෙන් ඉවත්වූ දකුණු කොරියාවේ හිටපු ජනපතී පාර්ක් ග්වෙන්-හයි තවත් වසර 8ක සිර දඬුවමකට යටත්ව තිබේ.

ඇය දැනට වසර 24ක සිර දඬුවමක් බුක්ති විඳමින් සිටින අතර, මෙම නව නියෝගය එම දඬුවමට අමතරව ලබාදුන් එකක් බව විදෙස් වාර්තා පවසයි.

සෝල් අධිකරණයකදී මෙම නඩුව විභාගයට ගැනුණු අතර, එහිදී රටේ බුද්ධි තොරතුරු ඒජන්සියෙන් නීති විරෝධී ලෙස අරමුදල් භාරගැනීමට වරදකරු වෙමින් වසර 6ක සිරදඬුවමක් සහ මැතිවරණයට අතපෙවීමේ වරදට තවත් වසර 2ක සිරදඬුවමක් ලෙස ඇයට දඬුවම් නියම වී තිබේ.

බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනා මත ඇය පසුගිය අප්‍රේල් මාසයේදී වසර 24ක සිර දඬුවමට යටත් විය.

තමන් නිර්දෝෂී බව ප්‍රකාශ කරමින් අධිකරණය මග හරිමින් කටයුතු කළ දකුණු කොරියාවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙසද ඇය මේ වනවිට ඉතිහාසගත වී සිටියි.

ඇය පවසන්නේ දේශපාලන විරුද්ධවාදීන් ඇයට මෙම චෝදනා එල්ල කරන බවය. එමෙන්ම, අධිකරණය මෙන්ම අභිචෝදකයන්ද තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට ඇය පවසා සිටියි.



Recommended Articles