ද. අප්‍රිකා වසර ගණනාවකින් දරුණු ප්‍රචණ්ඩත්වයක් පැතිරේ


හිටපු ජනාධිපති ජේකබ් සූමා සිරගත කිරීම නිසා ඇති වූ කෝපයත් සමග වසර ගණනාවක දරුණුතම ප්‍රචණ්ඩත්වයකට දකුණු අප්‍රිකාව ගොදුරුවී ඇති අතර, රට පුරා නගරවල ජනයා පොලීසිය සමග ගැටුම් ඇතිකර ගනිමින්, සාප්පු සංකීර්ණ කොල්ලකමින් හා ගිනි තබමින් ප්‍රචණ්ඩක්‍රියාවල යෙදෙන බව විදෙස් වාර්තා පවසයි.

දූෂණ සිද්ධියක් සම්බන්ධ නඩු විභාගයකට අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය සතියේ සූමා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇති වූ විරෝධතා, වර්ණභේදවාදය අවසන් වී වසර 27කට පසුවත් පවතින දුෂ්කරතා සහ අසමානතාව පිළිබඳ ගැටුම් සහ පොදු කෝපය ප්‍රකට කර ඇත.

විශේෂයෙන්ම වසංගතය සමග කොවිඩ්-19 පැතිරීම අවහිර කිරීම අරමුණු කරගත් දැඩි සමාජ හා ආර්ථික සීමා කිරීම් හේතුවෙන් දරිද්‍රතාවය දකුණු අප්‍රිකාව තුළ උග්‍ර වී තිබේ.

ක්වාසුළු-නටාල් පළාතේ සූමාගේ නිවසේ සිට රටේ විශාලතම නගරය වන ජොහැන්නස්බර්ග් සහ අවට ගෝතෙන්ග් පළාත දක්වාත්, ඉන්දියන් පෝට් නගරය දක්වාත් පැතිරී ඇති ප්‍රචණ්ඩත්වය සහ මංකොල්ලකෑම් වැළැක්වීමට රජය කටයුතු කරමින් සිටින බව ආරක්ෂක නිලධාරීහු පැවසූහ.

දකුණු අප්‍රිකානු පොලිස් සේවය අද සවස් අග භාගයේ කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ පැවති උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයන් 72 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර 1,234 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවත් පළාත් දෙකක වරින් වර සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තා වී ඇති අතර, අවස්ථාවාදී සාපරාධීත්වය වළක්වාලීම සඳහා හඳුනාගත් තර්ජනයට ලක්වූ ප්‍රදේශවල මුර සංචාරයේ යෙදෙන ආරක්ෂක අංශ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම පවතින නොසන්සුන්තාව පාලනය සඳහා හමුදාවද යොදවා තිබේ.

79 හැවිරිදි සූමාට 2018 දී වසර 9ක ධුර කාලය තුළ ඉහළ මට්ටමේ දූෂණ සිද්ධියක් පිළිබඳ විමර්ශනයකදී සාක්ෂි ලබාදීම සඳහා වූ ව්‍යවස්ථා අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේ දඬුවම් නියම විය.

එසේම දූෂණය, වංචාව, ජාවාරම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා මත ඔහු වෙනම නඩුවකටද මුහුණදී සිටියි. කෙසේ වෙතත් ඔහු පසුගිය මැයි මාසයේදී උසාවියේදී සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය.

හිටපු ජනාධිපතිවරයා සිරෙන් නිදහස් වන තුරු දකුණු අප්‍රිකාවේ සාමයක් නොමැති බව සූමාගේ පදනම පවසයි.



Recommended Articles