තෙවැනි ලෝක යුද්ධය යනු න්‍යෂ්ටික යුද්ධයක් - රුසියාව


ලෝක බලවතුන් අතර මීළඟ ප්‍රධාන ගැටුමට පරමාණුක ආයුධ සම්බන්ධ වනු ඇති අතර, එය මානව වර්ගයාට ව්‍යසනකාරී එකක් වනු ඇති බවට රුසියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා අනතුරු අඟවා ඇත්තේ, යුක්රේනයට එරෙහි රුසියානු හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන් බටහිර රටවල් සමග උත්සන්න වන ආරවුල මධ්‍යයේය.

අල්-ජසීරා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් කියා සිටියේ, "තෙවැනි ලෝක යුද්ධය විනාශකාරී න්‍යෂ්ටික යුද්ධයක් වනු ඇති" බවය.

යුක්රේනය පරමාණුක ආයුධ සඳහා ප්‍රවේශය ලබා ගන්නේ නම්, රුසියාව "සැබෑ අනතුරකට" මුහුණදෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, න්‍යෂ්ටික යුද්ධයක් පුපුරා ගියහොත් ජයග්‍රාහකයෙකු නොසිටින බව අඟහරුවාදා ජිනීවා නිරායුධකරණ සම්මන්ත්‍රණයේදී සිදුවූ පැහැදිලි කිරීමෙන් පසු ලැව්රොව්ගේ මෙම ප්‍රකාශ පැමිණ තිබේ. වීඩියෝ සබැඳිය හරහා කතාකළ මොස්කව්හි ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා, යුරෝපයෙන් සිය යුධ හිස් ඉවත් කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය. කියෙව්හි න්‍යෂ්ටික නොවන තත්ත්වය උල්ලංඝනය කිරීමට බටහිර විසින් තර්ජනය කරන බවටද ඔහු චෝදනා කළේය.

"න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුමේ මූලික විධිවිධානවලට පටහැනිව, එක්සත් ජනපද පරමාණුක අවි තවමත් සමහර යුරෝපීය රටවල භූමියේ පිහිටා තිබීම අපට පිළිගත නොහැකියි" ලැව්රෝවී සඳහන් කළේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්, "යුක්රේන බලධාරීන් තමන්ගේම න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමේ සැලසුම්වලට අදාළ භයානක ක්‍රීඩාවක නිරත වීමෙන් පසුව, සෙලෙන්ස්කිගේ (යුක්රේන ජනපති) පාලන තන්ත්‍රය අසල්වැසි රටවලට සහ ජාත්‍යන්තර ආරක්ෂාවට එල්ල කළ අන්තරායන් සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා" යැයී කිවේය.

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පූටින්, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලවලින් සමන්විත රටේ ගොඩබිම් ඒකක මෙන්ම උතුරු සහ පැසිෆික් බලඇණියේ යාත්‍රාද දැඩි සටන් සීරුවෙන් තැබීමට නියෝග කළේ පසුගිය සතියේදීය. මොස්කව්ට එරෙහිව නීත්‍යානුකූල නොවන සම්බාධක සහ එක්සත් ජනපද හා යුරෝපා සංගම් නිලධාරීන් විසින් කරන ලද ආක්‍රමණශීලී ප්‍රකාශවලින් පසුව මෙම පියවර පැමි‍ණෙන බව පූටින් අවධාරණය කළේය.

මොස්කව්හි සන්නද්ධ හමුදා යුක්රේන ආක්‍රමණය දියත් කළේ පසුගිය බ්‍රහස්පතින්දා පූටින් ජාතිය අමතා සිදුකළ කතාවෙන් පසුවය. පූටින්ට අනුව ප්‍රහාරයේ ඉලක්කය වන්නේ යුක්රේනයේ හමුදාමය ශක්තිය අඩපණ කිරීම සහ නැගෙනහිර යුරෝපීය ජාතියෙන් ඊනියා නාසි සබඳතා ඉවත් කිරීමය.



Recommended Articles