එක්සත් ජනපදය රුසියානු තෙල් තහනම් කිරීම ප්‍රකාශයට පත් කිරීමෙන් තම කුහකකම හෙළි කර තිබුණත්, ඔවුන් කිසිවෙකුට නොකියා රුසියානු බොරතෙල් විශාල ප්‍රමාණවලින් අඛණ්ඩව මිලදී ගන්නා බව රුසියානු පාර්ලිමේන්තුවේ කථානායක වොලොඩින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් මොස්කව් වෙත පනවා ඇති සම්බාධකවල කොටසක් ලෙස මාර්තු මස මුලදී රුසියානු බොරතෙල්, සමහර පෙට්‍රෝලියම් නිෂ්පාදන, ද්‍රව ස්වභාවික වායු සහ ගල් අඟුරු ආනයනය සීමා කිරීමට පියවර ගත් බව වොෂින්ටනය කියා සිටියේය.
"රුසියානු තෙල් තවදුරටත් එක්සත් ජනපද වරායන්හි පිළිගනු ලබන්නේ නැහැ" එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එකල මහා ඉහළින් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියා සිටියේය. නමුත් බයිඩන් සිය ප්‍රකාශය ක්‍රියාවෙන් සපථ නොකළ බව වොලොඩින් සාක්ෂි සහිතව ඔප්පු කර ඇත.
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී රුසියාවෙන් තෙල් සැපයීම දෙගුණයක් වී ඇත. එය පිළිවෙලින් බැරල් මිලියන 2,325 සිට 4,218 දක්වා වැඩිවී ඇති බව පාර්ලිමේන්තු කථානායක සඳහන් කළේය.
"නිවේදනය කරන ලද තහනම නොතකා, අපේ රට එක්සත් ජනපදයට විශාලතම තෙල් සැපයුම්කරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල නවවැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා ඉහළ ගොස් තිබෙනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ සමගම රුසියානු තෙල් අත්හැරීමට වොෂිංටනය යුරෝපා සංගමයට බලපෑම් කරමින් සිටින අතර, ඇතැම් රටවල් ඒ කීම් අසා දැනටමත් රුසියානු තෙල් අත්හැරීමට කටයුතු කළත්, ඇමෙරිකාවේ මෙම ක්‍රියාව ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත පිළීබඳ මනා සාක්ෂියක් බවද වොලොඩින් පැවසීය.
"දැන් යුරෝපීය දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එය ඔවුන්ගේ පුරවැසියන්ට පැහැදිලි කිරීමට ඉඩ දෙන්න, ඔවුන් බයින්ගේ මිල ඉහළ යාම තවදුරටත් ඉවසා සිටිය යුත්තේ මන්දැයි කියා පැහැදිලි කරන්න" රුසියානු කථානායකවරයා සඳහන් කළේය.
ලොවපුරා ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සහ ඒ හරහා ආහාර මිල ගණන් ඉහළ යෑම යුක්රේන ගැටුම් මධ්‍යයේ පූටින්ගේ ක්‍රියාවක් ලෙස පෙන්වා, එය පූටින්ගේ මල්ලට දැමීමට බයිඩන් කටයුතු කළත්, දැන් සැබවින්ම ලොවපුරා ඉන්ධන මිල ගණන් ඉහළ යාමේ සහ ඒ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යමින් අධි උද්ධමනකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමේ සැබෑ වගකිව යුත්තන් ලෝකය විසින් හඳුනාගත යුතු බවද රුසියානු කථානායකවරයා අවධාරණය කරයි.