තාවකාලික පැවිද්ද ලැබූ තායිලන්ත දරුවන් පිරිස යළි නිවෙස් බලා යති


නවක භික්ෂූන් ලෙස පුහුණුව ලැබූ තායිලන්ත ගුහාවේ සිට බේරාගැනුණු දරුවන් තාවකාලික පැවිදි දිවිය අවසන් කොට නිවෙස් කරා ගොස් තිබේ.

වයිල්ඩ් බෝර්ස් කණිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ දරුවන් 11 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු පසුගියදා මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වූයේ ඔවුන් බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධව සිටියදී ජීවිතක්ෂයට පත් හිටපු නාවික හමුදා සාමාජික සමාන් ගුනාන් වෙත පුණ්‍යානුමෝදනා කිරීමේද අපේක්ෂාව පෙරදැරිවය.

කෙසේ වෙතත්, මෙම දරුවන් සිය තාවකාලික පැවිදි දිවිය සාර්ථකව අවසන් කර යළි නිවෙස් බලා ගියත්, ඔවුන්ගේ පුහුණුකරු සහ කලින් භික්ෂුවක ලෙස පුහුණව ලබා සිටි එකාපෝල් වස් තුන් මාසය තවදුරටත් පැවිදි දිවියේම ගත කරනු ඇති බව සඳහන් වෙයි.

මෙම දරුවන් පිරිස සහ ඔවුන්ගේ පුහුණුකරු තායිලන්තයේ දැවැන්ත ගුහා සංකීර්ණයක සිරවී සිටියදී සති දෙකකට පමණ පසුව ඔවුන් මුදාගනු ලැබුවේ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුවය.

වයස අවුරුදු 11 - 17ත් අතර පසුවූ දරුවන් 11 දෙනාම මෙහිදී දින 9ක කාලයක් ඉතා හොඳින් ආගමික පුහුණුව ලබා ඇති අතර, ගුහාවේ සිරවී සිට බේරාගැනුණු එක් කිතුණු දරුවෙකු පමණක් මෙම අවස්ථාවට සම්බන්ධ වී නොතිබුණි.

මෙම කාලය අතරතුර භාවනාව පුරුදු පුහුණු කරමින්, ආගමික වතාවත්වලට සම්බන්ධ වෙමින්, විහාරස්ථාන සුද්ධ පවිත්‍ර කරමින් ඔවුන් කාලය ගත කර තිබේ.

තායිලන්තය තුළ සෑම පිරිමි දරුවෙකුම පාහේ තාවකාලික පැවිදි දිවියට එක්වීම සම්ප්‍රදායක් බවට පත්ව තිබේ.



Recommended Articles